ඇති වී තිබෙන කනගාටුදායක තත්ත්වය හමුවේ සෑමදෙනාගේම අවධානය මේ පිළිබඳ පැතිර යන තොරතුරු කෙරෙහි යොමු වන බවත්, ඉතාමත් වේගයෙන් අසත්‍යය තොරතුරු පැතිර යන බවත් මේ වන විට දැකගතහැකි වෙනවා.

පටු අරමුණු වෙනුවෙන්, තම තමන්ගේ වුවමනා එපාකම් හා බළාපොරොත්තු වෙනුවෙන් මෙවැනි අවස්ථාවන් වලදී අසත්‍යය තොරතුරු පළ කරමින් එයින් ප්‍රයෝජන ගැනීමට විශාල පිරිසක් කටයුතු කරමින් සිටින අතර WhatsApp හා Viber වැනි end to end encrypted සේවාවන් වලින් හුවමාරු කරන පණිවිඩ රජය විසින් monitor කිරීම වැනි පණිවිඩ ද පැතිර යනු දකින්නට ලැබෙනවා.

මේ අතරින් WhatsApp හා Viber යන සේවාවන් සම්පූර්ණයෙන්ම end to end encryption භාවිතා කරන අතර ඒ හරහා හුවමාරු වන කිසිඳු පණිවිඩයක් හෝ ඇමතුමක් රජයට හෝ වෙනත් කිසිඳු ආයතනයකට විමර්ශනය කිරීමේ හැකියාවක් නොමැත.

මේ End to end encryption ක්‍රමයක් භාවිතා කිරීමේදී පණිවිඩය යවන්නාට හෝ ලබන්නාට හැර සේවා සපයන්නන්, රජය හෝ අවම තරමින් එම සේවාව හිමිකරුවන්ට හෝ නිරීක්ෂණය කිරීමට නොහැකි වන්නේ, මෙහිදී සාමාන්‍යය පණිවිඩය වෙනත් සංකේත ගොඩකට හරවා හුවමාරු කෙරෙන අතර, එය නැවතත් සාමාන්‍යය පණිවිඩය බවට හරවාගැනීමට නම් (අදාළ පුද්ගලයන් දෙදෙනා අතර පමණක් තිබෙන) ඊට අදාල cryptographic key එක තමන් සතු විය යුතු බැවිනි.


කොහොම නමුත් Facebook හා Twitter ගත් කළ එම සේවාවන් මේ ආකාරයේ encryption ක්‍රමයක් භාවිතා නොකලත්, මෙහි තොරතුරු හුවමාරු වන්නේ https protocol එක හරහා වන බැවින් එම දත්ත ද නිරීක්ෂනය කිරීම ලෙහෙසියෙන් කළ හැකි වන දෙයක් නොවන අතර, රටක සියළුදෙනාගේ messages මේ ආකාරයෙන් නිරීක්ෂණය කිරීම කිසිසේත්ම ප්‍රායෝගික කටයුත්තක් නොවේ.

මෙහිදී මතක තබාගත යුතු කරුණ නම්, ඔබ ඉහත සමාජ ජාල වලදී public ලෙස හෝ Friends of friends ලෙස වැනි ආකාරයට share කරන දේ ඊට අදාල පුද්ගලයන් හට නිරීක්ෂණය කළ හැකි අතර ඒවා පිළිබඳ සම්පූර්ණ වගකීම ඔබට ගැනීමට සිදු වනු ඇත.

මීට ඉහතදී ඉන්දියාවේ WhatsApp වලින් fake news පැතිර යාම නිසාවෙන් එය පාළනය කිරීමට forward කිරීමේ සීමාවන් එකතු කිරීමට කටයුතු කරනු ලැබුවේ ද මෙය නිරීක්ෂණය කිරීමට හෝ සීමා කිරීමට වෙනත් කිසිඳු ප්‍රායෝගික ක්‍රමයක් නොමැති නිසාවෙනි.

මේ අනුව රජය විසින් සමාජ ජාල වාරණය කිරීමට කටයුතු කරන්නේද මෙවැනි ව්‍යාජ පුවත් හා තොරතුරු පැතිර යාම වලක්වාගැනීමට අවශ්‍යය නිසාවෙන් වන අතර, ඔබ නිවැරදි ලෙස මේවා භාවිතා කරන්නේ නම් එවැනි අපහසුතාවයන්ගෙන් වැලකී සිටීමට අපට අවස්ථාව ලැබෙනු ඇත.

කොහොම නමුත් මේ අවස්ථාවේදී පැතිර යන, තාක්ෂණික හා තාක්ෂණික නොවන වෙනත් ව්‍යාජ පුවත් හා තොරතුරු ගැන ඉතාමත් අවධානයෙන් සිටින ලෙස ඔබෙන් ඉල්ලා සිටින අතර විශේෂයෙන්ම යම්කිසි තොරතුරක් ලද විගසින් එය තවත් කෙනෙකුට forward කිරීමට ප්‍රථමව එම කරුණ තහවුරු කරගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.


විශේෂයෙන්ම දැනට ටික වේලාවකට ප්‍රථමව රුධිරය ලබා දීමට කැමති පුද්ගලයන් හට රුධිරය දන් දීමට පැමිණෙන ලෙස නිවේදනයක් නිකුත් කර තිබුණු අතර මේ වන විට එම කටයුත්ත සඳහා අධික පිරිසක් ඉදිරිපත් වී ඇති බැවින් තවදුරටත් ඒ සඳහා නාරාහේන්පිට හා මීගමුව මධ්‍යස්ථාන වලට නොපැමිණෙන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවය දන්වා තිබෙනවා.

එනමුත් මේ පිළිබඳ සොයා නොබලා ඊට අදාළ පණිවිඩය තවදුරටත් හුවමාරු කිරීමෙන් ඔවුන් අපහසුතාවයට ලක් වන බව ඔබට පැහැදිළි ඇති.

මීට සුළු මොහොතකට පෙර ඉතාමත් වැදගත් වූ තොරතුරක් නිසාවෙන් මේ මොහොතේදී අනවශ්‍යය කරදරයක් සිදු විය හැකි බවට මේ නිදසුන ප්‍රමාණවත් වන අතර මේ මොහොතේදී ඔබගේ බුද්ධිය මෙහෙයවා, අවබෝධයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.