Apple සමාගමේ ව්‍යාපෘතියක් වූ Project Titan, එහෙමත් නැතිනම් ස්ව්‍යංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියෙන් සේවකයන් 200කට අධික ප්‍රමාණයක් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇති බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

පසුගිය වසරේ ජූලි මාසය වන විට මෙම ව්‍යාපෘතියේ සේවය කරනු ලැබූ සේවක සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබූ අතර, මේ වන විට ඉවත් කර තිබෙන 200 කට අධික පිරිස Apple සමාගමේ ම වෙනත් ව්‍යාපෘති සඳහා යොමු කර ඇති බවත් CNBC වෙබ් අඩවිය වාර්ථා කරනවා.

මෙම වෙනස් කිරීම ගැන අදහස් දක්වමින් Apple සමාගමේ CEO වන Tim Cook ප්‍රකාශ කර තිබෙන අන්දමට මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය වන්නේ හුදෙක් ස්ව්‍යංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් නොව, ස්ව්‍යංක්‍රීයව කටයුතු කළ හැකි පද්ධතියක්, එහෙමත් නැතිනම් Autonomous System එකක් බවයි.

මේ අනුව ගත් කළ මේ යටතේ නිෂ්පාදනය කිරීමට බළාපොරොත්තු වන්නේ car එකක් පමණක් නොව ඕනෑම වර්ගයක වාහනයකට සවි කළ හැකි ආකාරයේ පද්ධතියක් බව අනුමාන කළ හැකි වෙනවා.

කොහොම වුණත් මේ Titan ව්‍යාපෘතියේ අන්තර්ගතය පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක් මාධ්‍යයට ලබා දීමට Apple සමාගම කටයුතු කර නොමැති නමුත් මේ වන විටත් Apple සමාගම ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Volkswagen සමාගමත් සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ලබන බව වාර්ථා වෙනවා.

එමෙන්ම පසුගිය වසරේ Tesla සමාගමේ ප්‍රධාන මෝටර්රථ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය කළ Doug Field නැමැත්තා ව මේ Titan ව්‍යාපෘතියේ සේවයට බඳවාගැනීමට කටයුතු කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම restructure කිරීම සිදු කරන්නට ඇති බව විශ්වාස කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා CNBC වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.