මේ වෙනකොට web technology කියන්නේ දවසින් දවස යාවත්කාලීන වෙන දෙයක්. නමුත් මේ වෙනකොට තිබෙන තාක්ෂණය අනුව අපිට වෙබ්සයිට් එකක් පවත්වාගෙන යන්න අවම වශයෙන් domain name එකක් සහ hosting space එකක් අවශ්‍යය වෙනවා.

නමුත් ඔන්න දැන් URL එකේම දත්ත ගබඩා කර ඉතා කුඩා වෙබ්සයිට් නිර්මාණය කිරීමට හැකි අමුතු තාලයේ තාක්ෂණයක් හඳුන්වා දීමට Nicholas Jitkoff කියන කෙනා සමත් වෙලා තිබෙනවා.

මේ Nicholas Jitkoff කියන්නේ Google සමාගමේ හිටපු designer කෙනෙක්. ඒ වගේම මේ වෙනකොට අපි කවුරුත් දන්න dropbox එකේ design team එකේ vice president. මොහු මේ හඳුන්වා දෙන අළුත් වෙබ් තාක්ෂණය හඳුන්වන්නේ itty bitty sites කියන හුරුබුහුටි නමින්.

මෙම වෙබ්සයිට් කිසිඳු තැනක ගබඩා කිරීමකට ලක් නොවන අතර වෙබ් අඩවියට අදාල දත්ත එහි URL එක එහෙමත් නැතිනම් එහි web address එකට Lempel–Ziv–Markov chain algorithm එකට අනුව compress කර එකතු කරනු ලබනවා. ඒ කියන්නේ මුළු වෙබ්සයිට් එකම තනි දිග URL එකක් විතරයි.

https://itty.bitty.site/#/?XQAAAAIXAAAAAAAAAAA0HSzgdXPvDM762cAaox13gP77dG8U9iLPSf/+gHgA

උදාහරණයක් ලෙස ඉහත URL එක ගතහොත් එහි # ලකුණින් පසුව ඇති සියළුම characters වලින් නිරූපණය වෙන්නේ එම website එකෙහි ඇති දත්ත ප්‍රමාණයයි.

මේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ඔයාටත් ඕන නම්, itty.bitty.site කියන වෙබ්සයිට් එකට ගිහින් ඔයාට අවශ්‍යය විදිහට ඔයාගේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්න පුළුවන්. මේ සඳහා plain-text සහ emojies වැනි දේවල් පමණක් බාවිතා කළ හැකි අතර සාමාන්‍යයෙන් අඟල් 8.5 x 11 ප්‍රමාණයේ පිටුවක් පිරෙන තෙක් පමණ එම අකුරු භාවිතා කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

ඉතින් ඔයා මේ හරහා නිර්මාණය කරන වෙබ් අඩවිය 2,610 bytes වලට වඩා අඩුයි නම් ඒක QR Code එකක් විදිහට ප්‍රතිනිර්මාණය කරගන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා.

කොහොම වුණත් මේ තාක්ෂණය තාමත් බොහොම අළුත්. ඒ වගේම මේ මගින් නිර්මාණය කරන වෙබ් අඩවිය web browser එකට දරාගැනීමට හැකියාව ඇති තරමේ දිග URL එකක් විය යුතු වෙනවා. මේ තාක්ෂණය බාවිතා කරමින් ලෝකයා මොන වගේ නිර්මාණ කරාවිද කියන කාරණය ගැන මෙය නිර්මාණය කරපු Jitkoff වත් තාමත් දන්නේ නැහැ. ඒ නිසාවෙන් මේ තාක්ෂණය වැඩිදියුණු කරන්න මුළු ලෝකයේම අයට පුළුවන් වෙන විදිහට ඔහු එහි source code එක GitHub එකෙහි host කර තිබෙනවා.

ඒ වගේම මෙයින් කළ හැකි දේවල් කිහිපයක් උදාහරණ මගින් දැක්වීමට ඔහු කටයුතු කර තිබෙනවා.

✒️Compose poetry
🛠Create an app
🐦Bypass a 140 280 char limit
🎨Express yourself in ascii

Twitter එකේ tweet එකක ප්‍රමාණය මදි අයට වගේම pastebin වගේ සේවා භාවිතා කරන අයට ඉදිරියට මේක බොහොම වැදගත් වේවි.