ඔබ දැනටමත් දන්නා පරිදි ලොව භාවිතා වෙන බොහොමයක් ජංගම දුරකථන 4K Display එකකින් සන්නද්ධ නොවෙන අතර ඒ නිසාම 4K resolution සහිත video content මෙවැනි උපාංග වල නිසි පරිදි නැරඹීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

YouTube සේවාවේ ඇති 4K හෝ 8K video නැරඹීම සඳහා ඔබේ දුරකථනයේ තිරය අනිවාර්යෙන්ම එම resolution වලට සහය දැක්විය යුතු අතර, එම සහය නොමැති නිසා බොහොමයක් ජංගම දුරකථනවල YouTube ඔස්සේ video play කල හැකි වන්නේ 1080p resolution එක දක්වා පමණයි.

නමුත් ඉතා ඉක්මනින්ම මෙම තත්ත්වය වෙනස් වීමට නියමිත අතර ඔබට ඉදිරියේදී ඔබේ දුරකථන තිරය 4K සඳහා සහාය නොදැක්වුවත් YouTube ඔස්සේ 60FPS-4K resolution සහිත වීඩියෝ නැරඹීමේ හැකියාව ලැබීමට නියමිතයි.

4K තිරයක් නොමැති Galaxy S10e සමඟ සිදුකළ පරීක්ෂණයකදී 4K video play කිරීම කිසිදු ගැටලුවකින් තොරව සිදුකල හැකි උනු බව වාර්තා වන නමුත් 4K තිරයක් නොමැති Galaxy Tab S5e සමඟ 4K Video play වීම එතරම් සාර්ථක නොවූ බවත් සඳහන් වී තිබෙනවා.

මේ නිසා මෙම feature එක සෑම දුරකථනයකටම එක හා සමානව ම ක්‍රියාත්මක වනවාද යන්න සැක සහිත බවත් මෙහිදී සඳහන් කළ යුතු අතර, ඇතැම් විට 4K නොමැති, නමුත් Premium හා Mid-range උපාංග වලට සහය දැක්වීමට ඉඩ තිබෙනවා.

XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට YouTube app එකේ විවිධ version කිහිපයකම මෙම option එක දැකගැනීමේ හැකියාව ලැබෙන අතර විවිධ devices කිහිපයක් ආධාරයෙන්ද මෙය පරීක්ෂා කර බැලීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වුවත් මොවුන් පෙන්වා දෙන්නේ මෙය අත්වැරදීමක් නිසා සිදු වූ සිදුවීමක් වීමේ සම්භාවීතාවයක් ද ඇති බව වන අතර එසේ වුවහොත් ඉදිරි සංස්කරණ වලින් එම option එක ඉවත් කිරීමට Google සමාගම කටයුතු කරනු ඇත.

කොහොම නමුත් සෑබෑ 4K අත්දැකීමක් ලබාගත හැකි 4K තිර සහිත දුරකථන මිලෙන් ඉතා වැඩි බැවින්, බහුතරයක් සාමාන්‍ය FHD+ සහිත දුරකථන භාවිතා කිරීමට පෙළඹීමේ පසුබිම තුළ මෙම නව පහසුකම ඉතා වටිනා එකක් වනු ඇති බව අනිවාර්යයෙන්ම සඳහන් කල හැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.