මේ දිනවල කාගේත් කතාබහට ලක්වන මෙම ජංගම දුරකථනය ගත්විට මෙය Google සමාගමේ Android One කියන වැඩසටහන හරහා හඳුන්වා දුන් ජංගම දුරකථනයක් වෙනවා. මේ Android One වැඩසටහන හරහා නිකුත් කරන devices වල hardware සහ software සඳහා Google සමාගම විසින් යම් යම් standards පනවා එ් හරහා නිකුත් කරන devices වල quality එක ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ඒ නිසාවෙන් මේ වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමෙන් ඔබට යම් කිසි නිෂ්පාදනකරුවකු විසින් වෙනස් නොකරන ලද එහෙමත් නැත්තම් pure/stock Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අළුත්ම security patches වගේ Updates ඔයාට ලැබෙන්නේ කෙලින්ම Google සමාගම හරහායි.

මෙහි ඇති තවත් විශේෂ අංගයක් වන්නේ ද්විත්ව කැමරා පද්ධතිය සහ ඇඟිලි සළකුණ ආරක්ෂක පද්ධතියක් ඇතුලත්ව තිබීමයි. ඒ වගේම මෙය රුපියල් හතලිස්දාහක ටත් වඩා අඩු මුදලකින් මිලදීගත හැකි ඉතාමත් හොඳ තත්ත්වයේ ජංගම දුරකථනයක් වීමත් විශේෂත්වයක්. එහෙනම් අපි මෙම ජංගම දුරකථනය පිළිබඳ වැඩිදුර විස්තර සාකච්ඡා කරමු.

මෙහි ඇති ද්විත්ව කැමරා පද්ධතිය හරහා 2x දක්වා optical zooming එහෙමත් නැත්නම් විශාල කිරීමේ හැකියාවක් ඇත. ඒ වගේම 12 mega-pixel camera දෙකක් තිබෙන නිසාවෙන් ඉතාමත් හොඳ තත්ත්වයේ portraits ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා. මෙහි තිරයේ විශාලත්වය අඟල් 5.5 වන අතර full hd display එකකින් මෙම ජංගම දුරකථනය සමන්විතය.

මෙහි ඇති chipset එක වන්නේ Qualcomm ලාගේ Snapdragon 625 chipset එක වන අතර 4GB RAM එකක් සහ 64GB internal storage එකකින් මේ phone එක සමන්විත වෙනවා. ඒ වගේම පිටතින් memory card එක සම්බන්ධකර එහි ඇති ඉඩ ප්‍රමාණය 128GB දක්වා වැඩිකර ගන්නත් පුළුවන්.

මෙහි ඇති මෙහෙයුම් පද්ධතිය ගැන කතා කරන විට එය Android 8.0 Oreo වේ. කලින් කියපු විදිහට මේ Android මෙහෙයුම් පද්ධතිය Google සමාගම විසින් Nexus සහ Pixel ජංගම දුරකථන වලට නිකුත් කරන ආකාරයේ pure Android version එක වෙනවා. මෙහි ඇති එකම වෙනස වන්නේ Camera app එක පමණක් MIUI විසින් නිර්මාණය කර තිබීමයි. ඒ වගේම මේ දුරකථනය හට හොඳ බැටරි ආයු කාලයක් ලබා ගැනීමට 3080mAh බලයකින් යුතු battery එකකින් ද සමන්විත වෙනවා.

මෙම ජංගම දුරකථනය ඔබට පාට තුනකින් මිලදී ගත හැක. කොහොම නමුත් මේ ජංගම දුරකථනය ඔබ විසින් මිලදී ගන්නා විට global version එක මිලදී ගත යුතුය. එසේත් නැතිනම් ඔබට signal issues වැනි ප්‍රශ්නවලට මුහුණපෑමට සමහර විට සිදුවීමට හැකියාවක් ඇත.