WiFi 6 මේ වසර ඇතුලත නිකුත් කිරීමට නියමිත බව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ WiFi සමඟින් සුලභව භාවිතා වෙන security standard එකක් ලෙස WPA security standard එක බොහෝ දෙනෙක් භාවිතා කරනු ලබනවා. කොහොම නමුත් WPA2 standard එක hack කළ හැකි  ක්‍රමවේදයන් ප්‍රචලිත වීමත් සමඟින් බොහෝ දෙනා වෙනත් security ක්‍රමවේදයන් භාවිතා කිරීමට පෙළඹුනා.

WPA2 වල තිබූ මේ දුර්වලතා මගහරවා ගනිමින්, එහි අලුත්ම version එක වන WPA3 standard එක 2018 වර්ෂයේ ජනවාරි මස එළිදැක්වූ අතර මේ වන විට මේ අලුත් version එකේ තිබෙන දුර්වලතාවයන් පිළිබඳව සොයාගැනීමට ද security researcher වරුන් කිහිප දෙනෙකු සමත් වී තිබුණු අතර, එය Dragonblood යන නමින් ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණා.

මේ සොයාගැනීමෙන් ටික දිනකට පසු WiFi Alliance එක, එනම් WiFi standard නිර්මාණය කරනු ලබන ආයතනය විසින් මෙම දුර්වලතාවය මගහරවා ගැනීමට අවශ්‍යය patch එකක් නිකුත් කළ නමුත් මේ වන විට එම security researcher වරුන් දෙදෙනා වන Mathy Vanhoef හා Eyal Ronen විසින් ම තවත් දුර්වලතාවයන් ද්විත්වයක් සොයාගැනීමට සමත් වී තිබෙනවා.

මුල් Dragonblood attacks හරහා මෙන්ම, මේ අලුතින් සොයාගන්නා ලද දුර්වලතාවයන් දෙක හරහා ද අදාල device වල WiFi password එක hack කරගැනීමේ හැකියාව ලැබෙන අතර මේ වන විට මෙයින් පළමු bug එක CVE-2019-13377 ලෙසත්, අනෙක CVE-2019-13456 ලෙසත් නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අලුත් දුර්වලතාවයන් ද්විත්වය ම WiFi Alliance එකට වාර්ථා කිරීමට කටයුතු කර ඇති අතර මෙම දුර්වලතාවයන් මඟහරවාගැනීමට අදාල වන patches නිකුත් කිරීමට ඉතා ඉක්මණින් ඔවුන් කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා නිළ DRAGONBLOOD වෙබ් අඩවිය, The Hacker News වෙබ් අඩවිය හා ZDnet වෙබ් අඩවිය භාවිතා කළ හැක.