විශේෂයෙන්ම විශාල මුදලක් වියදම් කරලා අලුත්ම ජංගම දුරකථනයක් මිලදී ගත් විට අපි වැඩියෙන්ම කළබල වෙන අවස්ථාවක් තමයි, අත්වැරදීමකින් එය බිම පතිත වීම කියන කාරණය.

ඉතින් iPhone එකක් කියන්නේ බොහෝ වෙලාවට දැනට තියන මිළ අධිකම ජංගම දුරකථන වලින් එකක් වන අතර, Apple සමාගම ප්‍රකාශ කරන පරිදි මේ අලුත්ම iPhone එක නිර්මාණය කරලා තියෙන්නේ දැනට ජංගම දුරකථනයක තියන ශක්තිමත් ම වීදුරු භාවිතා කරමිනුයි.

කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්ත පරීක්ෂා කර බැලීම සඳහා Tom's Guide කියන වෙබ් අඩවිය විසින් මේ iPhone XS එකක් සහ iPhone XS Max එකක් කොන්ක්‍රීට් මතුපිටකට පතිත කර drop test එකක් සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ පරීක්ෂණය වරෙක ජංගම දුරකථනයේ මුල්ලක් බිම වදින ආකාරයටත්, තවත් වරෙක ජංගම දුරකථනයේ මුහුණත බිම වදින ආකාරයටත් සිදු කිරීමට ඔවුන් කටයුතු කරන අතර මෙලෙස සිදු කරන ලද පරීක්ෂණය හරහා අඩි 6ක පමණ උසක සිට බිම පතිත වීමේදී වීදුරුව කැඩී බිඳී යන බව දැකගන්නට ලැබෙනවා.

කොහොම නමුත් සිදු කරනු ලැබූ බොහෝ පරීක්ෂණ හමුවේ අනෙකුත් ජංගම දුරකථන වලට සාපේක්ෂව iPhone XS සහ iPhone XS Max ජංගම දුරකථන ඉතාමත් හොඳ ප්‍රතිඵල පෙන්නුම් කලත්, අත්වැරදීමකින් හෝ මෙලෙස screen එක බිඳීයාමකට ලක් වුවහොත් එය නැවත මාරු කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වන බැවින් හොඳ තත්ත්වයේ case එකක් සහ screen protector එකක් මිළදීගැනීම පිළිබඳව සළකා බැලීම වැදගත් වන බව අමුතුවෙන් ප්‍රකාශ කරන්නට වුවමනා වන්නේ නැහැ.

Tom's Guide වෙබ් අඩවියෙන් සහ engadget වෙබ් අඩවියෙන් මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න අවස්ථාව තිබෙනවා.