IFTTT, එහෙමත් නැතිනම් “If This Then That,” කියන්නේ මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙක් භාවිතා කරනු ලබන task automation system එකක්.

මේ සේවාව භාවිතා කරමින් ඉතාමත් පහසුවෙන් යම්කිසි දෙයක් සිදු වූ විට එහි ප්‍රතිඵලය අනුව තවත් කටයුත්තක් සිදු කිරීම සඳහා workflow සදා තැබිය හැකි අතර IFTTT සේවාව මගින් එම උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වෙමින් අදාල කටයුත්ත සිදු කිරීමට කටයුතු කරනු ලබනවා.

උදාහරණයක් ලෙස ඔබේ ජංගම දුරකථනයට SMS එකක් පැමිණි පසු එය ස්ව්‍යංක්‍රීයවම Gmail හරහා කැමති email ලිපිනයකට email පණිවිඩයක් ආකාරයෙන් send කිරීම පෙන්වාදිය හැකි අතර මීට අදාල workflow එක නිර්මාණය කළ පසු එම කටයුත්ත භාවිතා කරන්‍නාගේ මැදිහත්වීමකින් තොරව සිදු කිරීමට මේ IFTTT සේවාවට හැකියාව තිබෙනවා.


කොහොම නමුත් මේ IFTTT සේවාව හරහා Gmail භාවිතා කර සිදු කළ හැකි කාර්යයන් වලින්, email එකක් send කිරීම හා තමන්ටම email එකක් එවාගැනීම යන task හැරුණුකොට Gmail සේවාව පාදක කරගත් අනෙකුත් සියළුම applets, මේ වසරේ මාර්තු 31 වැනිදා සිට භාවිතා කළ නොහැකි වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

Google සමාගම විසින් ඔවුන්ගේ Gmail API වලට සිදු කිරීමට නියමිත වෙනස්කම් හේතුවෙන් මෙම සේවාවන් බිඳවැටීමට ලක් වන අතර තම පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව වෙනුවෙන් ‍අදාල API හරහා තෙවන පාර්ශවයන් වෙතට access ලබා දීම සීමා කිරීමට තීරණය කර ඇති බව Google සමාගම පෙන්වා දෙනවා.

කොහොම නමුත් මෙය අදාල වන්නේ Gmail සමඟින් integrate කර ඇති IFTTT applets සඳහා පමණක් වන අතර අනෙකුත් Google සේවාවන් සමඟින් බැඳී පවතින applets වලට මෙයින් බළපෑමක් ඇති නොවන බව IFTTT ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.


ඉදිරියේදී Google සමාගම සමඟින් සම්බන්ධ වී Gmail වලට අදාල පහසුකම් නැවතත් එකතු කිරීමට IFTTT ආයතනය සූදානමින් සිටින බව ඔවුන්ගේ නිළ Blog අඩවිය හරහා ප්‍රකාශයට පත් කිරීමට IFTTT ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ IFTTT Blog එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.