Computer Network එකක් නිර්මාණය කිරීමේදී අපි ගොඩක් දේවල් ගැන සැලකිලිමත් විය යුතු වෙන අතර ඒ අතරින් අපි තෝරගන්න Network Topology එක ඉතාමත් වැදගත් වෙනවා.

සරළවම කිව්වොත් මේ Network Topology එකක් කියන්නේ අපි පරිගණක ජාල සකස් කිරීමේදී අදාල network එක ඇතුලත පරිගණක එකිනෙක සම්බන්ද වන ආකාරයන් වලටයි.

ප්‍රධාන Network Topology කිහිපයක්
  • Star Topology - තාරකා ආකාර පරිගණක ජාල
  • Ring Topology - වලලු ආකාර පරිගණක ජාල
  • Bus Topology - බස් ආකාරයේ පරිගණක ජාල
  • Tree Topology - ගසක් ආකාරයේ පරිගණක ජාල
  • Mesh Topology - දැලක ආකාරයේ පරිගණක ජාල
  • Hybrid Topology - දෙමුහුම් ආකාර පරිගණක ජාල

හරි දැන් අපි බලමු මේ Network Topology එකිනෙක කොහොමද වැඩ කරන්නේ කියලා.


  • තාරකා ආකාර පරිගණක ජාල (Star Topology)
    මෙවැනි පරිගණක ජාල වලට සැම විටම පරිගණක එක කෙන්ද්‍රයක් සමග සම්බන්ද වෙන්නේ. මේ එක කෙන්ද්‍රයක් කියන්නේ, මධ්‍යයේ Hub එකක් හෝ Switch එකක් එකක් තබා තරුවක් ආකාරයට (හැඩය නොවේ) අනෙකුත් සියළුම පරිගණක එයට සම්බන්ද කර සැදූ ජාලයක්.

    මේ ක්‍රමයේදී අපිට ඉතාමත් පහසුවෙන් තවත් device එකක් මේ network එකට සම්බන්ධ කරන්න හරි, මේකෙන් ඉවත් කරන්න හරි පුළුවන්. ඒ වගේම network එකේ තියෙන අනිත් පරිගණක වල දෝශයන් නිසා මුළු network එකටම බළපෑමක් ඇති වෙන්නෙත් නෑ.

    ඒත් සම්බන්ධ වෙන devices ප්‍රමාණය වැඩි වෙන්න, වෙන්නම මැද තිබෙන device එක upgrade කරන්න යන වියදම වැඩි වෙනවා. ඒ විදිහට මේ මැද තිබෙන device එකට හැම node (network එකට සම්බන්ධ වෙලා තිබෙන device) එකක්ම හසුරුවාගන්න අමාරු නම්, network එක slow වෙනවා.

    ඔයාලට පහල රුපය බැලුවම හොදටම තේරුම් ගන්න පුලුවන් මේ තාරකා ආකාර ජාලයක් (Star Topology) කියන්නේ මොකක්ද කියලා.
Star Topology

  • වලලු ආකාර පරිගණක ජාල (Ring Topology)
    මෙහිදි සැම පරිගණකයක්ම තවත් පරිගණක 2ක් සමග සම්බන්ද වන ආකාරයට පුළුල් ජාලයක් සාදනවා. එවැනි ජාලයකට තමයි අපි කියන්නේ වලලු ආකාර පරිගණක ජාලක් (Ring Topology) කියලා. මේ topology එක performance අතින් ගත්තත්, ආරක්ෂාව අතින් ගත්තත් ඒ තරම් හොඳ බවක් නම් පෙන්නුම් කරන්නේ නැහැ.

    මෙහිදී දත්ත ගමන් කරන්නේ network එකේ එක දිශාවකට පමණයි.

    උදාහරණයක් ගත්තොත්, හිතන්න A, B, C කියලා පිළිවෙලින් පරිගණක 3ක් එකිනෙක සම්බන්ධ කරලා තියනවා කියලා. මේ ක්‍රමයේදී B කියන පරිගණකයේ යම්කිසි දෝශයක් හටගත්තොත් A සහ C අතර තිබෙන සම්බන්ධතාවයටත් බාධාවක් ඇති වෙනවා.

    නමුත් මේකට server පරිගණකයක් හෝ ඒ වගේ වැඩි වියදම් යන උපාංග අවශ්‍යය නොවන නිසා මේක ටිකක් ලාබෙට නිර්මාණය කරගන්න පුළුවන්.

    පහල තියන රුපයෙන් ඔයාලට පොඩි idea එකක් ගන්න පුලුවන් මොකක්ද වලලු ආකාර ජාලයක් කියන්නේ කියලා.
Ring Topology

  • බස් ආකාරයේ පරිගණක ජාල (Bus Topology)
    මෙම ජාලකරණයේ සෑම පරිගණකයක් සහ ජාල උපාංගයක්ම එකම කේබල් එකකට සම්බන්ධ වෙන්නේ. මෙයත් එතරම් සුදුසු ජාලකරන ආකාරයන් (Topology) නොවේ. මොකද කිව්වොත් මේ ජාලකරණයේ සෑම උපාංගයක්ම තනි කේබල් එකකට  සම්බන්ද වෙන නිසා, ඒ කෙබල් එකේ කිසියම් දෝශයක් තිබුනොත් මුලු ජාල පද්ධතියම බිඳ වැටීමකට පත් වෙනවා.

    මේකට bus network එකක් කියන්න හේතුවක් තියනවා. ඒ කියන්නේ එක node එකකින් (source) යවන data packet එකක්, මුළු network එකේම තියන අනිත් node එකක් ගානේ ගිහින් අහනවා මේ data packet එක අයිති ඔයාටද කියලා. එතකොට ඒක අයිති වෙන (destination) ‍node එකෙන් accept කරනවා, අනෙක් devices වලින් ප්‍රතික්ෂේප කරනවා. හැම node එකක් ගානෙම bus එකක් වගේ නවත්ත නවත්ත යන නිසා තමයි Bus network එකක් කියලා කියන්නේ.

    ඒ වගේම තනි cable එකක් හරහා හැම එකක්ම සම්බන්ධ වෙන නිසා network එකේ performance වලට වගේම දත්ත වල ආරක්ෂාවටත් ලොකු බළපෑමක් ඇති වෙනවා.
Bus Topology

  • ගසක් ආකාරයේ පරිගණක ජාල (Tree Topology)
    මෙහිදි ජාලයේ තිබෙන සියලුම පරිගණක ගසක ආකාරයට ජාලය සමග සම්බන්ද වේ. තවත් විදියකට කිව්වොත් මේ ගසක් ආකාරයේ පරිගණක ජාලයේ (Tree Topology) තිබෙන පරිගණක ධූරාවලියක් (hierarchy) ලෙස පිහිටයි. මෙම ජාලකරණ ආකාරය සේවාවන් මධයගත (Centralized) කල ආයතන සදහා වඩාත් යොග්‍ය වේ.
Tree Topology

  • දැලක ආකාරයේ පරිගණක ජාල (Mesh Topology)
    දැලක් මෙන් සියළුම හෝ බොහෝමයක් nodes එකිනෙක සම්බන්ධ කරමින් නිර්මාණය කරගන්නා network එකකට අපි Mesh Network එකක් කියලා කියන අතරම, මේ වර්ගයේ networks ප්‍රධාන වශයෙන් type දෙකකට අයත් වෙනවා.

    Full mesh topology (සියළුම nodes එකිනෙක සම්බන්ධ networks)
    මේ වර්ගයට අයත් වෙන network එකකදී මුළු network එකට අදාල සියළුම Nodes එකිනෙකා සමඟ සම්බන්ධ කර තිබෙන අතර ඕනෑම අවස්ථාවක අතරමැදියෙකු මත depend නොවී සෘජුවම අනෙක් node එක සමඟ සම්බන්ධ වීමට මෙහි තිබෙන ඕනෑම node එකකට හැකියාව තිබෙනවා.

    Partial mesh topology (බොහෝ nodes ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ networks)
    මේ ඝනයට අයත් වෙන network එකකදී සෑම node එකක්ම අනෙකුත් සෑම node එකක් සමඟම සම්බන්ධ නොවුවත් අඩුම තරමින් තවත් nodes දෙකකට හෝ තුනකට සම්බන්ධ වී පවතිනවා.

    බොහෝ වෙලාවට මේ topology එකට අයත් වෙන network එකකදී එක node එකක් බිඳ වැටෙනවා කියන එක network එකට දැනෙන්නේවත් නැති තරම්. මොකද data packet වලට ගමන් කරන්න තව ඕන තරම් මාර්ග තිබෙන නිසා.

    නමුත් මේ වගේ network එකක් හදන්න යන මහන්සිය බොහොම වැඩියි. මොකද හැම එකක්ම එකිනෙක සම්බන්ධ කරන්න ගතවෙන කාළය, අවශ්‍යය උපාංග ප්‍රමාණය වැඩි වීම වගේ කරුණු මේකට සෘජුවම බළපානවා.
Mesh Topology

  • දෙමුහුම් ආකාර පරිගණක ජාල (Hybrid Topology)
    අපි කලින් සඳහන් කරපු topology දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට සම්බන්ධ කර නිර්මාණය කරගන්නා network එකකට අපි කියනවා Hybrid Topology එකක් කියලා.

    මෙහිදී තිබෙන වාසි වලින් එකක් තමයි, හිතන්න network එකේ එක කොටසක මොනවාහරි දෝෂයක් හටගත්තා කියලා, අපිට පුළුවන් network එකෙන් ඒ කොටස විතරක් වෙන් කරලා අනෙකුත් කොටස් සාමාන්‍යය විදිහට ක්‍රියාත්මක කරවන්න.

    නමුත් මේ වගේ network එකක් හදන්න භාවිතා කරන උපාංග ප්‍රමාණය වැඩි නිසා මේකට ටිකක් වැඩි වියදමක් යනවා වගේම එක එක විදිහේ topology කිහිපයක් තිබෙන නිසා සම්පූර්ණ network එක ටිකක් සංකීර්ණ වෙනවා.
Hybrid Topology

දැන් ඔයාලට පොඩි දැනුමක් ඇති මොනාද මේ Network Topology කියන්නේ කියලා. අපි තවත් මේ වගේම වැදගත් වන Networking ගැන කතා කරන ලිපියකින් ආයෙත් හමුවෙමු.

සමහර විට මේ ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම්, අපේ Community එකට ඇවිත් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Comparitech වෙබ් අඩවිය, Study Tonight වෙබ් අඩවිය මෙන්ම, Tech Target වෙබ් අඩවියද භාවිතා කළ හැක.