දැනට ලෝකයේ තිබෙන ජනප්‍රියතම ජංගම දුරකථන OS දෙක මොකක්ද කියලා ඇහුවොත් ඒකට උත්තරේ ඉතාම සරලයි. ඒ තමයි Android හා iOS.

මේ OS දෙකම එකකට එකක් වෙනස් සුවිශේෂීතාවයන් රැසක්ම තියෙන නිසා, එකකින් අනික නොනැසී මේ දක්වා එන්න සමත් වෙලා තියෙනවා.

ප්‍රධාන වශයෙන්ම Apple සමාගමේ iOS එක සුවිශේෂී වෙන්නේ, ඒ OS එකට හරියටම හරියන hardware තියෙන device එකක් හදලා දෙන නිසා වන අතරම, Google සමාගමේ Android OS එක විශේෂ වෙන ප්‍රධාන හේතුව වෙන්නේ ඒක ඕන කෙනෙකුට නොමිලයේම අරගෙන තමන්ගේ device එකක් බළගන්වන්න භාවිතා කරන්න පුලුවන් නිසයි.

මේ වෙනකොට ජංගම දුරකථන OS Market share ගැන සැලකීමට ගත්තොත් 72%කට අධික ප්‍රමාණයක්ම Android වලට අයිති වෙලා තියෙන්නේ Android මේ විදිහට open source ( විවෘත මූලාශ්‍ර) විදිහට තියෙන නිසයි.

නමුත් ආරක්ෂාව, OS එකටම ආවේණික UI experience එක වගේ දේවල් නිසා 75% ක් තරම් දැවැන්ත share එකක් තියෙන Android එක්ක හැප්පෙන්න අදටත් iOS එකට හැකි වෙලා තියෙනවා.

ඉතිං මේ තරඟයට අලුතින්ම එකතු වෙන තරඟකාරයා තමයි මේ Huawei සමාගම විසින් හඳුන්වාදෙන HarmoneyOS, එහෙමත් නැතිනම් සමහර වෙලාවට HongmengOS යන නමින් හඳුන්වන OS එක.

ඉතිහාසය

ඔයාලට මතක ඇති 2019 මැයි මාසයේදී Donald Trumph ප්‍රමුඛ ඇමරිකානු රජය විසින් Huawei සමාගම සමඟ ගනුදෙනු කරන එක ඇමරිකානු සමාගම් වලට තහනම් කරනව. ඒකත් එක්ක Huawei සමාගමට Google සමාගම සමග ගණුදෙනු කරන්න තියෙන හැකියාව අහිමි වෙනවා වගේම එතනින් එහාට ගිහින් Display නිෂ්පාදකයින්, Chip නිෂ්පාදකයින් හා අනෙක් ජංගම දුරකථන කොටස් නිෂ්පාදනය කරන සමාගම් එක්ක ගනුදෙනු කරන්න තියෙන අවස්ථාවත් Huawei සමාගමට අහිමි වෙනවා.

Google සමාගම එක්ක ගනුදෙනු නැවතීමත් එක්ක Google Mobile Services (GMS) එක Huawei උපාංග වලට අහිමි වුණා.

මේ GMS කියන package එකේ තමයි Google Play Store එක ඇතුළුව Google Maps, Chrome, YouTube, Gmail වගේ සියළුම Google apps ඇතුලත් වෙන්නේ. ඒ වගේම Google Play Services කියන package එක හරහා තමයි දැනට තියෙන Android apps බොහෝමයක් push notifications එහෙමත් යවන්නේ. (ඒ කියන්නේ Huawei Phone වල තියෙන apps වලට notification ලැබෙන තැන ඉඳන් තව ගොඩක් දේවල් නැති වෙනවා GMS නැති වුණු ගමන් ම)

Android මෙහෙයුම් පද්ධතිය open-source වුණත්, මේ Google Mobile Services කියන package එක Google සමාගමේ license එකක් යටතේ තමයි Huawei සමාගම ඇතුළුව ඕනම device manufacturer කෙනෙකුට ගන්න පුලුවන් වෙන්නේ.

මේ පසුබිම නිසා GMS වලට විකල්පයක් නිර්මාණය කරන්න Huawei සමාගමට සිදුවීමත් එක්ක පස්සෙ කාලෙක Huawei Mobile Service (HMS) හඳුන්වාදෙන්න Huawei සමාගම කටයුතු කරනවා.

ඒත් එක්කම Huawei සමාගමේ අලුත් OS එකක් පිළිබඳ තොරතුරුත් ටිකෙන් ටික එළියට එන්න පටන් ගන්නව. මුලින්ම HongmengOS නමින් හඳුන්වපු, මේ නව OS එක HarmonyOS ලෙසත් හැඳින්වෙන්න පටන් ගන්නවා.

Huawei සමාගම නම් කියන්නේ එයාලා මේ OS එක develop කරන්නේ 2012 ඉඳන් කියලා. නමුත් මුළු ලෝකෙම මේ OS එක ගැන දැනගන්නෙ 2019 න් පස්සෙ.

2020දි HarmonyOS එකෙ පලමු version එකත්, 2021 මැයි වලදි ඒකේ version 2.0 එක නිකුත් කරන්නත් Huawei සමාගම කටයුතු කරනවා.

HarmonyOS එක Smartphone, Smartwatch, Smart TV, Smart Car වගේ විශාල පරාසයක උපාංග සඳහා සහය දක්වන තනි OS එකක් විදිහට තමයි Huawei සඳහන් කරන්නේ.

විශේෂයෙන්ම Huawei සමාගමේ ප්‍රධාන අරමුණ වුණේ මේ HarmoneyOS එක හරහා ඉතා විශාල පරාසයක devices ප්‍රමාණයක් ආවරණය කරමින් අවසානයේ එම devices සියල්ලේ එකතුවෙන් තනි super device එකක් නිර්මාණය කිරීමයි.

මුලින් සඳහන් කළ ආකාරයට 2020 වර්ෂයේදී හඳුන්වාදෙන HarmoneyOS එක, IoT සඳහා විශේෂයෙන් නිර්මාණය කළ operating system එකක් වූ අතර, එය Smart TV වලට මූලිකව නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කළා.

එමෙන්ම HarmoneyOS 2.0 නමින් 2021 වර්ෂයේදී නිකුත් කළ operating system එක අර මුලින් කියපු IoT වෙනුවෙන් නිර්මාණයක කරපු එකම නොවුණත් මෙය Mobile phones, Tablets සහ Smartwatchs වෙනුවෙන් නිර්මාණය කළ version එකක් වුණා.

Android වලට වඩා වෙනස්ද?

ඇත්තටම Android වලට වඩා මේ OS එක වෙනස්ද කියන එක නම් මතභේදාත්මකයි. ඒකට හේතුව වෙන්නේ දුරකථන සහ Tablet වලට එන HarmonyOS එක (HarmoneyOS 2.0) Android OS එකේ Re-build එකක්, එහෙමත් නැත්තන් Re-Brand එකක් පමණයි කියලා අනාවරණයවීමයි.

ලොව සුප්‍රකටම තාක්ෂණික වෙබ් අඩවි වන XDA, TechCruch වගේ වෙබ් අඩවි විශේෂයෙන්ම මේ HarmoneyOS 2.0 එකේ beta සංස්කරණ මුලින්ම නිකුත් කරපු ගමන්ම මේ ගැන කරපු සොයාබැලීම් වලදී අනාවරණය වෙච්ච දෙයක් තමයි ඇත්තටම දුරකථන හා Tablet වලට එන HarmonyOS එක, Android 10 සංස්කරණයේ fork එකක් ගෙන, එහි Android යන නම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට HarmoneyOS ලෙස replace කරලා තිබෙන බව.

ඒ වගේම Huawei සමාගම විසින් මේ සඳහා development කිරීම වෙනුවෙන් හඳුන්වාදී තිබෙන HUAWEI DevEco Studio එක බැලු බැල්මටම Android Studio එකට සර්ව-සම බවක් දැකගත හැකි වෙනවා. (දෙකම base වෙලා තියෙන්නේ Jetbrains සමාගමේ IntelliJ IDEA කියන software එක මතයි)

කොහොම වුණත් Huawei සමාගම නම් මෙය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මේ අලුතින් හඳුන්වාදුන් HarmoneyOS 2.0 සංස්කරණය සඳහා Linux kernel එක භාවිතා කරන බවයි.

නමුත් Smartwatch වලට එන HarmonyOS lite තමයි Original ම HarmonyOS එක කියල මේ වෙබ් අඩවි දෙකම වාර්තා කරල තිබුණා. මේකෙන් අනුමාන කරන්න පුලුවන් දේ තමයි Huawei සමාගමට ඇමරිකානු සමාගම් වලින් Software සහය සෘජුව ලබාගන්නට නොහැකි නිසා වක්‍රව Android OS ඔස්සෙ තමන්ගෙ Device බලගන්වන්න Huawei සමාගම කටයුතු කරනව කියන එක.

Features අතින් Android වලට වඩා ඉදිරියෙන් ඉන්න්වද?

Huawei සමාගම Android සමග භාවිතා කල එයාලගෙ EMUI Android Skin එක ඔයාලට මතක ඇති. සමාන්‍ය Android OS නැති ගොඩාක් පහසුකම් සහ සේවාවන් ඒ Skin එකේ බලාගන්න පුලුවන් වුණා. ඉතින් අන්න ඒ Android Skin එකත් එක්ක එන හැම Feature එකක්ම ඔයාලට HarmonyOS සමග ලැබේවී.

ඊට අමතරව Super device කියන අලුත් Feature එක හරහා ඔයාලට HarmonyOS 2 ක්‍රියාත්මක වෙන ඔයාලගෙ Smart Device එකම තැනකින් Control කරගැනීමෙ හැකියාව ලැබෙනවා. මේක Google smart home වගේ Feature එකක් කියල අපිට හිතන්න පුලුවන්.

ඒ වගේම HarmonyOS user interface එකක් ගොඩක් දුරට EMUI එකට සමාන වන ලෙස නිර්මාණය කරලා තියෙන නිසා ඔබට ඇත්තටම ලොකු අපහසුවකින් තොරව මේ අලුත් OS එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වේවි.

HarmonyOS ලැබෙන දුරකථන මාදිලි

වාර්තා වෙන විදියට දැනට Huawei හා Honor මාදිලි 100කට වඩා වැඩි ප්‍රමාණයකට HarmonyOS එක ලබා දෙන්නට huawei සමාගම සූදානමින් ඉන්නවා. මේකේ විශේෂත්වය වෙන්නේ වසර කීපයක් පැරණි Huawei Nova 3 වගේ devices වලට පවා මේ අලුත්ම OS එක ලබා දෙන්නට Huawei සමාගම තීරණය කරලා තිබීමයි.

නමුත් HarmonyOS එක ලබාදීම මූලිකව චීනයට පමණක් සිදු වෙනු ඇති අතර ලොව පුරා ඇති අනෙක් Huawei devices, HarmonyOS එක ඔස්සෙ බලගැන්වෙන කාල රාමු ටිකක් වෙනස් වෙන්නටත් ඉඩ තිබෙනවා.


පසු සටහන.

කලින් කිව්ව වගේ HarmonyOS කියල කියන්නෙ ජංගම දුරකථන ලෝකයට විතරක් නෙමෙයි Huawei සමාගමටත් ලොකු Turning point එකක්.

ඉතිං අපි බලමු විශාල සම්බාධක ප්‍රමාණයක් මැද්දේ HarmonyOS එකත් එක්ක Huawei සමාගමට තමන්ට අහිමිව ගිය " ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා" කියන කිරුළ වෙත යළි ගමන් කරන්නට හැකියාවක් ලැබේවිද කියලා.