Bootloader කියන වචනය බොහෝ වෙලාවට Android ජංගම දුරකථන භාවිතා කරන්නන් අතර, විශේෂයෙන්ම Root කිරීම වැනි කටයුතු සිදු කරනු ලබන පුද්ගලයන් අතර ඉතාමත් සුලභව භාවිතා වන වචනයක් බව ඔබ දන්නවා ඇති.

මීට පෙර Android ජංගම දුරකථන Root කිරීම සහ iPhone Jailbreak කිරීම ගැන ඔබ වෙත ගෙන ආ ලිපිය අතරතුරත් අපි මේ Bootloader එක ගැන සඳහනක් කරන්නට කටයුතු කළා.

මොකක්ද මේ Bootloader එකක් කියන්නේ?

Boot කරනවා යනුවෙන් සාමාන්‍යය ව්‍යවහාරයේ අදහස් කරන්නේ පරිගණකයක් හෝ යම්කිසි ඉලෙක්ට්‍රොනික් උපකරණයක් start කිරීම බව ඔබ දන්නවා ඇති. ඉතින් මේ Bootloader කියන්නේ මෙහෙයුම් පද්ධතියක් ආරම්භ කිරීමට ප්‍රථමව, සාමාන්‍යය පරිගණකයක BIOS වලින් සිදු කරනු ලබන කාර්යයට මදක් සමාන කාර්යයක් සිදු කරනු ලබන මෘදුකාංගයක්.

මෙය Android භාවිතා කරන්නන් අතර ප්‍රචලිත වුවත් Linux, Windows, Android, iOS වගේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ආරම්භ වන්නේ මේ ආකාරයේ Bootloader එකක් හරහා වන අතර අදාල operating system එක ආරම්භ වීමට අවශ්‍ය උපදෙස් හා විධාන ලබා දෙන්නේ මේ Bootloader එක හරහායි.

මේ Bootloader එක අදාල device එකේ hardware සමඟින් තදින් බැඳි පවතින නිසාවෙන් මෙන්ම ජංගම දුරකථන නිෂ්පාදකයාගේ අයිතියට නතු වූ දෙයක් නිසාවෙන් මෙය unlock කිරීම සෑම device එකකදීම එකම ස්වභාවයක් නොගන්නා අතර, Huawei වැනි සමාගම් විසින් මෙය කිසි ලෙසකින් වත් unlock කිරීමට අවස්ථාව ලබා දීම අවහිර කර තිබෙනවා.

Bootloader එක Lock කර තිබෙන්නේ ඇයි?

Android ගතහොත් එය open source මෙහෙයුම් පද්ධතියක් බව අපි කවුරුත් දන්නවා. කොහොම වුණත් මේ Bootloder එක open source නොවන අතර අපි මිලදී ගන්නා සෑම ජංගම දුරකථනයකම පාහේ මේ Bootloder එක lock කිරීමට අදාල ජංගම දුරකථන නිෂ්පාදකයන් කටයුතු කරනවා.

මීට ප්‍රධානතම හේතුව වශයෙන් සැළකිය හැක්කේ, මේ Bootloader එක unlock කිරීම හරහා අදාල device එකේ පවතින මෙහෙයුම් පද්ධතියට වෙනස්කම් සිදු කිරීමට හැකියාව ලැබෙන නිසාවෙන්, ඒ හරහා යම් කිසි දෝශයක් සිදු වුවහොත්, ඔවුන්ගේ කීර්ති නාමයට එය බළපාන නිසාවෙන් මෙන්ම, අදාල device එක repair කිරීම සඳහා ඔවුන් හට මුදල් වියදම් කිරීමට සිදු වීමයි.

ඒ නිසාවෙන් මෙය lock කර පවතින අතර, යම් හෙයකින් මේ bootloader එක unlock කළහොත්, එම අවස්ථාවේ සිට අදාල device එකේ warranty එක අවලංගු වන බව ඔවුන් බොහෝ විට ප්‍රකාශ කරනු ලබනවා.

මීට අමතරව Dialog, Mobitel වැනි ජංගම දුරකථන සේවාදායකයන් විසින් තමන්ගේ network එකට පමණක් විශේෂිත වූ සීමා කිරීම් සිදු කිරීමට කටයුතු කරනු ලබනවා. උදාහරණයක් ලෙස ඇතැම් ජංගම දුරකථන වල Wi-Fi Hostspot එක භාවිතා කළ හැක්කේ එම ජංගම දුරකථනය මිලදීගත් සමාගමේ Sim Card එකක් භාවිතා කරනවා නම් පමණක් වැනි සීමා කිරීම් සිදු කර තිබෙනවා.

එමෙන්ම මෙහෙයුම් පද්ධතිය වෙනස් කළ හැකි නම් Sim lock, country lock වැනි සීමා කිරීම් වලට ඒ හරහා බළපෑම් කළ හැකි නිසාවෙන්, මේ Bootloader එක lock කිරීම මගින් ඒවා පාලනය කිරීමට ඔවුන් කටයුතු කරනවා.

Bootloader එක unlock කරනවා කියන්නේ මොකක් ද?

මෙය unlock කිරීම යනු අදාල device එකේ මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම තමන්ගේ බළයට නතු කර ගැනීමක් ලෙස පෙන්වාදිය හැකි අතර Android ජංගම දුරකථනයකදී නම්, අපි කලින් සඳහන් කළ ආකාරයට ජංගම දුරකථන නිෂ්පාදකයා විසින් lock කර ඇති මේ bootloader එක official ක්‍රමයක් මගින් unlock කිරීමේ හැකියාව බොහෝ විට ලබා දෙනවා.

කොහොම නමුත් iOS සඳහා නම් මේ වෙනුවෙන් ක්‍රමයක් ලබා දීමට හෝ ඒ ගැන කතා කිරීමට වත් Apple සමාගම කටයුතු කරන්නේ නැති බව සඳහන් කළ යුතු වෙනවා.

බොහෝ විට ඔබගේ ජංගම දුරකථනය off කර, Volume Down button එක සමඟින් Power Button එක, එකවිට press කරගෙන සිටීමෙන් මේ Bootloader එකට පිවිසිය හැකි අතර, එහිදී එම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු ද ඇතුලත් වෙනවා.

මීට අමතරව පරිගණකයක් භාවිතා කරමින් ADB හරහා මෙය සිදු කරනවා නම්,  පහත විධානය හරහා bootloader එකට පිවිසීමේ හැකියාව ලැබෙනවා.

adb reboot bootloader

මේ ආකාරයෙන් bootloader එකට පැමිණි පසු, එහි ඇති options අතර ගමන් කිරීම සිදු කළ හැකි වන්නේ Volume Up සහ Volume Down යන button වලින් වන අතර, අදාල option එක තෝරාගැනීම සඳහා power button එක භාවිතා කළ යුතු වෙනවා.

යම් හෙයකින් volume buttons වැඩ නොකරන්නේ නම්, power button එක තත්ත්පර 10ක් press කරගන සිටීමෙන් ජංගම දුරකථනය restart කළ හැක.

එමෙන්ම බොහෝ ජංගම දුරකථන වලදී මේ bootloader එක unlock කිරීම සඳහා පහත විධානය භාවිතා වන අතර මෙය ජංගම දුරකථන නිශ්පාදකයා අනුව බොහෝ විට වෙනස් වෙනවා.

fastboot oem unlock

ඔබගේ ජංගම දුරකථනයේ වර්ගය අනුව bootloader එක unlock කරගැනීම සඳහා අදාල tutorial එකක් YouTube හෝ Google භාවිතා කර ඉතාමත් පහසුවෙන් සොයාගැනීමේ හැකියාව තිබෙනවා.

Bootloader එකක් unlock කිරීමෙන් ලැබෙන වාසි

Android ජංගම දුරකථන Root කිරීමෙන් ලැබෙන වාසි පිළිබඳව අපි මීට කලින් කතා කළා මතක ඇති. අන්න ඒ වාසි සියල්ලක්ම මේ හරහා ලබාගත හැකි අතර විශේෂයෙන්ම අදාල ජංගම දුරකථනය Root කිරීමට, Overclock කිරීමට හෝ වෙනත් Operating system එකක් (Custom ROM එකක්) flash කිරීමට අනිවාර්යයෙන්ම මේ Bootloader එක unlock කළ යුතු වෙනවා.

එමෙන්ම කලින් සඳහන් කළ ආකාරයේ සේවා දායකයා විසින් සිදු කර තිබෙන සීමා කිරීම් වලින් ඉවත් වීමට, (Sprint, O2 වැනි වෙනත් රට වල network සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කරනු ලබන devices අපේ ‍රටේ networks සමඟින් භාවිතා කළ හැකි ලෙස සැකසීමට) මේ Bootloader එක unlock කිරීම අනිවාර්යය වෙනවා.

ඔබගේ ජංගම දුරකථනයේ දැනට install කළ නොහැකි ඇතැම් apps මේ Bootloader එක unlock කිරීම හරහා, flash කරගැනීමේ හැකියාව ලැබෙන අතරම, අනවශ්‍යය system apps ඉවත් කර දැමීමට ද bootloader එක unlock කර root කරගැනීම මගින් සිදු කළ හැකි වෙනවා.

Bootloader එක unlock කිරීමේ අවාසි මොනවාද?

මේ Bootloader එක unlock කිරීමෙන් අදාල ජංගම දුරකථනයේ Warranty එක, එහෙමත් නැතිනම් වගකීම් සහතිකය සම්පූර්ණයෙන්ම අවලංගු වී යනවා.

එමෙන්ම මේ Bootloader එක unlock කිරීමේදී ජංගම දුරකථනයේ තිබෙන සියළුම දත්ත මකා දැමීම බොහෝ විට සිදු වෙන බැවින්, ඔබගේ සියළුම දත්ත backup කර නොගතහොත් ඒවා අහිමි වී යනවා.


Bootloader එක ගැන මීට වඩා දේවල් ඔයාලත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න තවත් කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.