තාක්ෂණික රොබෝ මෙවලම් නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන Sony සමාගම විසින්, වර්ණ දෙකකින් යුත් දුඹුරු පැහැයෙන් යුතු අලුත් AIBO රොබෝ බල්ලෙකු එළිදක්වා ඇති අතර එය දැන් ජපානයේදී Pre-Order කිරීමේ හැකියාව තිබෙනවා.

මෙහි පැරණි සංස්කරණයන් හා සසඳා බැලීමේ දී, වර්ණය හා අලංකාරය හැරුණු කොට, දෘඩාංග හා මෘදුකාංගවල විශේෂ වෙනස්කම් දක්නට නොමැත.

මෙම නවතම AIBO, පෙර AIBO මෙන් ජපන් යෙන් 198,000 ක් (ඇමරිකානු ඩොලර් 1,800 ක්) පමණ මුදලකට මිලදී ගත හැකි වන අතර Sony සමාගම විසින් ආරක්ෂක Secom සමාගම සමඟ සහයෝගයෙන්, මෙම AIBO ට තවත් ආරක්ෂණ අංග එකතු කිරීමට සූදානම් වී සිටිනවා.

Engadget ජපාන වෙබ් අඩවියට අනුව, Sony සමාගම මීළඟ ජුනි මාසයේ සිට ජපන් යෙන් 1,480 ක් ගෙවා අලුත් security features ලබාගතහැකි වන අතර, මෙම රොබෝ ගේ හැකියාවන් වර්ධනය කිරීමට එනම්, මුහුණු හඳුනා ගැනීමටත්, නිවස ඇතුලත සිතියම් නිර්මාණය කිරීමටත් මේ පහසුකම හරහා හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම නව සේවාව හරහා AIBO හට ගෙදර මුර සංචාරය කිරීමට හැකියාව ඇති අතර සියලු පවුලේ සාමාජිකයන් ආරක්ෂිතව හා ආරක්ෂාකාරී බවට වග බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

AIBO සමගින් ඉදිරියේ දී පැමිණීමට නියමිත මෙම සේවා වලට අමතරව, Sony සමාගම විසින් මේ AIBO සමඟින් භාවිතා කළ හැකි API එකක් නිර්මාණය කිරීමට ද බළාපොරොත්තු වන බව දැනගන්නට ලැබෙනවා. මෙමගින් AIBO හිමිකරුවන්ට සහ වෙනත් මෘදුකාංග නිර්මාණය කරන්නන් හට මෙම AIBO හරහා තවත් ආකර්ෂණීය පහසුකම් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා.

මේ Beagle AIBO රෝබෝ බල්ලාව, ඉදිරියේ දී සෝනි සමාගමේ ජපන්  Online Store එක හරහා රට පුරා පවතින අනෙකුත් වෙළඳසැල් හරහා මිලදීගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කරනවා.


Aibo රොබෝ සුනඛයාගේ ඉතිහාසය

AIBO යන වචනය පැමිණෙන්නේ Artificial Intelligence roBOt යන වචන වලින් වන අතර එය 'Companion' හෝ 'මිත්‍රයා' යන ජපන් වචනයට සමාන වෙනවා. 1999 දී ඔවුන් මෙය මුලින්ම හඳුන්වා දුන් අතර එය මහජනතාවට භාවිතා කළ හැකි ආකාරයේ ප්‍රථම රොබෝ යන්ත්‍රය විය.

මේ AIBO වල විශේෂත්වය වන්නේ ඔවුන් හට, ඔවුන්ගේ අයිතිකරුවන් හා අවට පරිසරය සමඟ අන්තර් ක්‍රියා සිදු කරමින් අලුත උපන් බිළිදෙකු සිට වැඩිහිටියෙකු දක්වා වර්ධනය වීමට තිබෙන හැකියාව මෙන්ම ඒ අනුව හැඩගැසීමට තිබෙන හැකියාවයි.

කෙසේ වෙතත්, මුල් කාලීනව Sony සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ පරීක්ෂණ ව්‍යාපෘතියක් ලෙස වන අතර පසුකාලීන ව මෙම රොබෝ සුනඛයන් අතිශය ජනප්‍රිය වීමත් සමගම මේවා වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මුල්ම AIBO ආකෘතිය මහජනතාවට ඉදිරිපත් කරන ලද්දේ 1999 මැයි මස වන විටය. ජපානය හා එක්සත් ජනපදය තුළ මුල්ම ERS-110 ආකෘති 5000 ක් විකිනීම සිදුවිය. මෙම රොබෝ සුනඛයන් කෙතරම් ජනප්‍රිය වූවාද කිව්වොත්, රොබෝවරු 3,000 ක් ජපානය තුල විනාඩි 20 කටත් අඩු කාළසීමාවකදී අලෙවි කිරිමට ඔවුන් සමත් විය.

1999 ඔක්තෝම්බර් 26 වන දින යුරෝපීය එළිදැක්වීම සිදු වූ අතර, මෙම නිෂ්පාදන නොවැම්බර් මාසයේ දී යුරෝපය, ජපානය හා එක්සත් ජනපදය ඉලක්ක කරගනිමින් 1999 නොවැම්බර් මස සඳහා නව විශේෂ සංස්කරණ ආකෘතියක් ද සහිත ව (ERS-111) නිකුත් කරන ලදී. මෙම කාලසීමාව තුළදී, මේ AIBO රෝබෝවරුන් 10,000 ක් පමණ විකිණීම සඳහා සතියක කාලයක් ගත වූ බවත් වාර්ථා වෙනවා.

AIBO පළමු පරම්පරාව අතිශය සාර්ථක වීමත් සමග ම, 2000 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී දෙවැනි පරම්පරාව එළිදැක්වීමට Sony සමාගම කටයුතු කරන ලදී. මෙම මාදිලියේ AIBO රොබෝවරුන් හට කටහඬ හඳුනාගැනීමටත්, නම් මතක තබා ගැනීමටත් මෙන්ම හැඟීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව තිබුණි.

මෙලෙස 2006 වර්ෂය වන තුරු විවිධ ආකාරයේ මාදිලි ඉදිරිපත් කිරීම තුලින් වෙළඳපොලේ ඇති අති විශිෂ්ඨතම විනෝදාස්වාද රොබෝවරයා වීමට මෙය සමත් වූ අතර 2006 වර්ෂයේ ජනවාරි මස 26 වැනිදා Sony සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම AIBO රොබෝවන් නිෂ්පාදනය කිරීම නවතා දමන බවයි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Sony Aibo වෙබ් අඩවිය, Gizmodo වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.