Samsung සමාගම සතු ප්‍රධානම flagship මාදිලි ද්විත්වය වන්නේ Galaxy S series එක හා Galaxy Note series එක වන අතර සාමාන්‍යයෙන් S series එක සෑම වසරකම මාර්තු මාසයේදීත් Note series එක සෑම වසරකම අගෝස්තු හෝ සැප්තැම්බර් කාලයේ දී නිකුත් කරන බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වෙනවා.

දැනට 2020 වසරට අදාළව මෙම ‍flagship line-up දෙකම මේ වන විටත් නිකුත් කර තිබෙන අතර, නවතම වාර්තාවන් පෙන්වා දෙන්නේ මීළඟ S21 (හෝ S30 ලෙස නම් විය හැකි) line-up එක, බලාපොරොත්තු වන කාලයට වඩා එනම්, බොහෝ දුරට 2021 වර්ෂයේ මාර්තු මාසයට පෙර නිකුත් කරනු ඇති බවයි.

මෙම S21 line-up එකට අදාලව mobile components නිශ්පාදන කටයුතු දැනටම ආරම්භ කර ඇති බව මෙම වාර්තා විසින් පෙන්වා දෙන අතර එය සාමාන්‍ය කාලරාමුවට වඩා සති 6 ක පමණ ඉක්මන් වීමක් වෙනවා.

2020 වසරේ Galaxy flagship සඳහා වූ අඩු ඉල්ලුමද මීට හේතු වී තිබෙන අතර මේ නිසා සැලකිය යුතු ලෙස අලෙවිය ද අඩු වී තිබෙනවා. එය හුදෙක් වසංගත තත්වය නිසා සිදු සිදුවූවක් පමණක් නොව, S20 හා Note 20 line-up සඳහා පාරිභෝගික ආකර්ෂණය Samsung සමාගම බලාපොරොත්තු වූ තරම් හිමිවී නොතිබීම නිසා වන බව දැකගත හැකි වෙනවා.

S20 Ultra ජංගම දුරකථනයෙහි 100X zooming හැකියාව ප්‍රධානම marketing point එක වුවද එය ප්‍රායෝගිකව අසාර්ථක වී ඇති අතර Note 20 සඳහාද පාරිභෝගිකයන් බලාපොරොත්තු වූ තරමේ වෙනස්කම් සිදු කරන්නට Samsung සමාගමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

අනෙක් අතට Huawei උපාංග අලෙවි නොවීමේ පසුබිම තුළ එම හිඩැස සම්පූර්ණ කිරීමද Samsung සමාගමේ අපේක්ෂාව වන බව මෙම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ නිසා S21 ජංගම දුරකථන මාලාව ද ආකර්ෂණීය වෙනස්ම design එකක් සමඟින්, නියමිත කාලරාමුවට වඩා කලින් නිකුත් කිරීමට Samsung සමාගම සූදානමින් සිටින බව වාර්තා වන අතර ඇතමුන් අනුමාන කරන්නේ එය බොහෝ දුරට 2020 වර්ෂයේ දෙසැම්බර් මාසය ද වියහැකි බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Sammobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.