Wireless Charging, එහෙම නැතිනම් රැහැන් රහිතව ජංගම දුරකථන හෝ යම්කිසි device එකක ඇති බැටරි charge කරගැනීමේ තාක්ෂණය මේ වන විට බොහෝ premium devices වල දක්නට ලැබෙන තාක්ෂණයක් වන අතර මේ වන විට එය රැහැන් සහිත fast charging තාක්ෂණය තරමටම වැඩිදියුණු වී තිබෙනවා.

නමුත් තවමත් Wireless Charging පහසුකම භාවිතා කිරීමට නම් උපාංග දෙකම එක මත එක ලෙස හෝ ඉතාම ආසන්නයේ තැබීම කල යුතු අතර එකවර devices කිහිපයක් charge කරගැනීමේ හැකියාවද තවම සුලභව දැකගත හැකි වන්නේ නැහැ.

මෙම ගැටළු වලට විසඳුමක් ලබාදීමට Huawei සමාගම මේ වන විට සූදානමින් සිටින අතර, දුර සිට උපාංග කිහිපයක් wireless ආකාරයට charge කරගැනීමට හැකි නව තාක්ෂණයක් සම්බන්ධයෙන් patent බලපත්‍රයක් ලබාගැනීමට ඔවුන් කටයුතු කර තිබෙන බව වාර්ථා වී තිබෙනවා.

Laser තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන මේ තාක්ෂණය සඳහා තවම නිශ්චිත නමක් ලබාදීමට Huawei සමාගම කටයුතු කර නොමැති අතර, මොවුන් පෙන්වා දෙන පරිදි මෙය Coffee shops, Restaurants, Conference rooms ආදියේ සිට පොදු ස්ථාන වල පොදුවේ භාවිතා කලහැකි තාක්ෂණයක් වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

කාමරයක ඉහළින් සවි කරන ලද charging module එකක් මඟින් මෙම ආරෝපණය ලබාදෙන අතර බොහෝ දෙනෙකුට එකවර මේ wireless charging පහසුකම සහිත විවිධ වර්ගවල smartphone, laptop, tab ආදිය දුර සිට charge කරගැනීමට මෙම තාක්ෂණය ඔස්සේ හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මෙහි සඳහන් වන විස්තර වලට අනුව මෙය Wi Charging තාක්ෂණයට සෑම අතින්ම සමාන බවක් දැකගතහැකි වන අතර එම තාක්ෂණය ඊශ්‍රයෙල් සමාගමක් විසින් 2012 වර්ෂයේ පමණ සිට අත්හදාබලමින් සිටින තාක්ෂණයක් වෙනවා.

Wi Charging පිළිබඳව වැඩිදුර විස්තර

Huawei සමාගම විසින් patent බළපත්‍රයක් ලබාගෙන ඇති මෙම තාක්ෂණය Wi Charging තාක්ෂණයෙන් වෙනස් වන ආකාරය සඳහන් නොවුනත්, එය මධ්‍යම හා දිගු පරාසයක් ඇතුලත ක්‍රියාත්මක වනු ඇති බව Huawei සමාගම සඳහන් කරන බව වාර්ථා වෙනවා.

කොහොම නමුත් එය කොපමණ දුර ප්‍රමාණයක් ද යන්න පිළිබඳව හෝ මෙම තාක්ෂණය එළිදක්වන දිනයක් පිළිබඳව ද තවමත් කිසිඳු විස්තරයක් ඉදිරිපත් කිරීමට Huawei සමාගම කටයුතු කර නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ PocketNow වෙබ් අඩවිය භාවිතා කළ හැක.