දැනට මාස කිහිපයකට පෙර යුර‍ෝපා කොමිසම විසින් Google සමාගමට ඩොලර් බිලියන 5කට ආසන්න මුලදක දඩයක් නියම කිරීමට කටයුතු කලා මතක ඇති.

ඉතින් මෙයට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කරනු ලැබුවේ Google Search සහ Google Chrome යන apps ජංගම දුරකථන නිශ්පාදකයන් හට මුලදක් ගෙවා ඔවුන්ගේ ජංගම දුරකථන වලට ඇතුලත් කිරීම යන කරුණ වන අතර මේ ක්‍රමය වෙනස් කිරීමට දින 90 ක සහන කාලයක් ද ලබා දීමට ඔවුන් කටයුතු කලා.

ඔන්න දැන්, Google සමාගම විසින් ඔවුන්ගේ බලපත්‍ර ක්‍රමයෙහි වෙනසක් සිදු කරමින් පළමු වතාවට Google Play Store එක සහ අනෙකුත් Google Apps තම දුරකථන වලට ඇතුලත් කිරීමට නම්, Google සමාගමට මිලක් ගෙවිය යුතු බව සඳහන් කරනු ලබනවා.

මීට පෙර Android මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කරනු ලැබූ බොහෝමයක් apps සහ සේවාවන් නොමිලයේ ලබා දීමට Google සමාගම කටයුතු කරනු ලැබුවේ ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය Google Chrome සහ Google Search යන සේවාවන් වන නිසාවෙනි.

තම search engine එක හරහා සෘජුවම මුදල් ඉපැයීමට Google සමාගමට හැකි වූ නිසාවෙන් Google Play Store වැනි සේවාවන් නොමිලයේ ලබා දීමට Google සමාගමට හැකියාව තිබුණු අතර මේ වන විට එම ප්‍රධාන ආදාම් මාර්ගයට පහරක් එල්ල කිරීමට මේ යුරෝපා හවුල කටයුතු කිරීම හේතුවෙන් මේ වෙනුවෙන් යම් මිලක් පැනවීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් Android මෙහෙයුම් පද්ධතිය තවදුරටත් free & opensource ආකාරයට පවත්වාගෙන යෑමට ඔවුන් කටයුතු කරනු ලබන අතර Google Apps සහ Google Play Store එක තම devices වලට ඇතුලු කිරීමට අවශ්‍යය දුරකථන නිෂ්පාදකයින් හට ඒ සඳහා Google සමාගමට මිලක් ගෙවීමට සිදු වෙනවා.

මේ අනුව

  • AOSP යන නමින් ප්‍රසිද්ධ Android Open Source Project එක සඳහා මුදල් අය කිරීමක් සිදු නොකරයි
  • Google Play Store සහ Gmail, Google Maps, YouTube වැනි Google Apps සඳහා මුදල් අය කිරීමක් සිදු කරයි
  • Google Chrome සහ Google Search යන app දෙක සඳහා මුදල් අය නොකර නොමිලයේ ලබා දෙන අතර එය තම devices වලට ඇතුලු කිරීම තවදුරටත් අනිවාර්ය්‍ය නොවේ

‍මේ ගෙවිය යුතු මිල ගණන් පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්ථා නොවන අතර මෙය  අදාල වන්නේ යුර‍ෝපා රට වලට පමණක් වන බවත් මතක තබාගත යුතු වෙනවා.

මේ අනුව Google සමාගමට මේ සේවාවන් වලට මුදල් ගෙවීමට අකමැති නම්, Google apps නොමැතිව අදාල දුරකථනය නිෂ්පාදනය කිරීමට හා බෙදාහැරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව තිබෙන අතර චීනයේ මේ වන විටත් මෙය සිදු වෙනවා.

කොහොම වුණත් මේ අලුත් licensing ක්‍රමය මීළඟ ඔක්තෝම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට Google සමාගම කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය සහ නිළ Google Blog එක භාවිතා කළ හැක