Google සමාගම අද වන විට ලෝකයේ ප්‍රබලතම තාක්ෂණික සමාගම් අතරින් එකකි. සමාගමේ ප්‍රධානතම ශක්තිය වන්නේ එහි search engine එක පිළිබඳව වන ඒකාධිකාරයයි. මේ වන වි​ට ගෝලීය search engine market share එකෙන් 90%කට වැඩි කොටසක් Google සමාගම සතුව පවතී.

Android ජංගම දුරකථන වල, Apple සමාගමේ Safari browser එකේ මෙන්ම Mozilla Firefox වැනි අනෙකුත් web browsers වල පවා default search engine එ​ක ලෙස Google search engine එක තැබීම හරහා search engine market එක තුළ තම ඒකාධිකාරය තහවුරු කරගැනීමට වසරකට ඩොළර් බිලියන ගණනක් වියදම් කිරීමට Google සමාගම කටයුතු කරනවා. මේ අතරින් Chrome web browser එක සුවිශේෂී වන්නේ එය වැඩියෙන්ම භාවිතා වන web browser එක වීම සහ, ඒ හරහා විශාල වශයෙන් සෘජුවම පරිශීලක දත්ත ලබාගැනීමට Google සමාගමට හැකියාව ලැබීම නිසාවෙනුයි.

මේ ආකාරයේ ආක්‍රමණශීලී කටයුතු නිසාවෙන් වෙනත් සමාගමකට search engine market එක තුළට පිවිසීම කෙසේ වෙතත්, දැනට පවතින අනෙකුත් search engine වලට තම වෙළඳපොල කොටස ආරක්ෂා කරගැනීම පවා ඉතාමත් අසීරු කටයුත්තක් බවට පත්වී තිබෙනවා.

Google Ads සේවාව හරහා වෙබ් අඩවි, YouTube සහ search results තුළ ads ප්‍රදර්ශනය කිරීම Google සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. පරිශීලකයන්ගේ search patterns, Google services භාවිතය සහ web analytics වැනි දත්ත භාවිතා කරමින් ඉතාමත් ඉලක්කගත ආකාරයට දැන්වීම් පෙන්වීමේ හැකියාව Google සමාග​ම සතු වෙනවා. Digital වෙළඳ දැන්වීම් වෙළඳපොළෙන් 28%ක් පමණ Google සමාග​ම සතු ව​න අතර, Facebook සමඟ එක්ව ගත් වි​ට මුළු ඩිජිටල් වෙළ​ඳ දැන්වීම් වෙළඳපොළෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ඔවුන් පාලනය කරනු ලබනවා.

මෙම ආධිපත්‍යය හේතුවෙන් කුඩා ව්‍යාපාර වලට දැන්වීම් වියදම් දැරීම අසීරු වී ඇති අතර, පරිශීලක දත්ත රැස්කිරීම සහ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු ද මතුව තිබේ. තරඟකාරී වෙළඳපොළක් බිහිවීම ද මෙමගින් අවහිර වී ඇත. මේ නිසා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වැනි රටවල් Google සමාගමේ ඒකාධිකාරය බිඳ දැමීම සඳහා විවිධ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

මේ අනුව එක්සත් ජනපද යුක්තිය සඳහා ව​න දෙපාර්තමේන්තුව විසින් Google සමාගමේ Search ඒකාධිකාරය බිඳ දැමීම සඳහා නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙහි ප්‍රධාන යෝජනා අතර:

  • Chrome බ්‍රවුසරය විකිණීමට සිදු වීම සහ අනෙකුත් තරඟකරුවන් සමඟ පරිශීල​ක දත්ත බෙදා ගැනීමට සිදු වීම,
  • ඉදිරි වසර 5ක් web browser වෙළඳපොළට ඇතුළු වීම තහනම් කිරීම,
  • Smartphone සහ Tablet නිෂ්පාදකයින් සමඟ default search engine එක සකස් කිරීම සඳහා ඇති ගිවිසුම් අවලංගු කිරීම,

ඇතුලත් වන අතර, මේ හරහා ද අපේක්ෂා කරන පරිදි search engine market share එක වෙනස් නොවුවහොත් Android operating system එක ද වෙනත් සමාගමකට විකිණීමට කටයුතු කළ යුතු බවත් ඇතුලත් වෙනවා.

මේ අනුව Search engine competition එක වර්ධනය කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සඳහා Google සමාගමට මීළඟ දෙසැම්බර් මාසය දක්වා කල් ලබාදී ඇති අතර, ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ඊට අදාල මීළඟ පියවර ගැනීමට එක්සත් ජනපද යුක්තිය සඳහා ව​න දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Al Jazeera වෙබ් අඩවිය , The Verge වෙබ් අඩවි​ය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.