COVID-19 වසංගත තත්වය මේ වන විට මුළු ලෝකයම වෙලාගෙන ඇති අතර ඇතැම් ප්‍රදේශ වල තවමත් මෙම වෛරසයෙන් පීඩාවට පත්ව ඇති අතර ඇතැම් ප්‍රදේශ සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙනවා.

වසංගතය කාලසීමාව තුළ වඩා නිවැරදි තොරතුරු සපයමින් බොහෝ තාක්ෂණික සමාගම් සාධනීයව කටයුතු කළ අතර Google සමාගම ද මෙම වසංගත තත්ත්වය නිසා මිනිසුන් හට සිදුවන අපහසුතාවයන් අවම කර ගැනීමට හැකිවෙන ආකාරයේ නව පහසුකම් කිහිපයක් ම Google Maps ඇතුළු සිය සේවා වෙත එක් කිරීමට කටයුතු කළ බව දැනටමත් දන්නවා ඇති.

මේ අතර COVID-19 වසංගතයේ බලපෑම තවදුරටත් තිබෙන්නේ කුමන ප්‍රදේශවලටද, ඒ කුමන ප්‍රමාණයකින් ද යනාදී තොරතුරු දැක්වෙන නව Map Layer එකක් Google Maps වෙත එකතු කිරිමට Google සමාගම සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.

ප්‍රසිද්ධ තාක්ෂණික අනාවැකි පළ කරන්නියක වන Jane Manchun Wong විසින් Google Maps වෙත හඳුන්වාදීමට නියමිතව ඇති මේ COVID-19 වසංගතය පිළිබඳ තොරතුරු දක්වා ඇති layer එකෙහි පින්තුර කිහිපයක් ඇයගේ Twitter ගිණුමේ පළ කර තිබෙනවා.

වසංගතයෙන් වඩා දරුණු ලෙස බැට කන ප්‍රදේශ මෙම නව පහසුකම ඔස්සේ පෙන්වනු ඇති අතර map එකේ Transist, Traffic, Biking, 3D, Street View යන option ලබා දී ඇති ස්ථානය වෙත COVID-19 ලෙසින් නව option එකක් ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව දැකගත හැකි වෙනවා.

ප්‍රාන්ත අතර සීමා මායිම් පෙන්වනු ලබන රේඛා ඔස්සේ වසංගත තත්ත්වය දරුණු වී ඇති ප්‍රදේශ හා නැති ප්‍රදේශ නිශ්චිත වර්ණයක් ඔස්සේ සළකුණු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි නමුත් එය කුමන ආකාරයෙන් සිදු කරනවාද යන්න පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ.

Google සමාගම විසින් Newyork Times, Wikipidia, Jonhs Hopking විශ්වවිද්‍යාලය හා බ්‍රිහාන් මුම්බායි මහනගර සභාවෙන් මේ සඳහා දත්ත ලබා ගන්නා බව වාර්තා වෙන අතර, ඒ අනුව මෙම නව පහසුකම ඇමරිකා එක්සත් ජනපදය හෝ කැනඩාවට පමණක් සීමා නොවී, තවමත් වසංගතයෙන් දරුණු ලෙස පීඩා විඳින ඉන්දියාව වැනි රටවලට ද ලැබෙනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මෙම නවතම පහසුකම නිශ්චිතවම නිකුත් කිරීමට සූදානම් වන්නේ කෙදිනද යන්න පිළිබඳව තොරතුරු වාර්තා වී නැති නමුත්, වසංගත තත්වය තුළ ආරක්ෂා වී සිටීම සඳහා ජනතාවට උදව් වෙන තොරතුරු සැපයීම සඳහා Google සමාගමේ කැපවීම, යළිත් මෙමඟින් පිළිඹිබු වෙන සඳහන් කළ යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.