Flickr සේවාව විසින් ඔවුන්ගේ free plan එක සඳහා මීට කලින් ලබා දී තිබූ 1TB Storage එක, පසුගිය ජනවාරි මස 8 වැනිදා සිට ඉවත් කර, ඒ වෙනුවට Photos 1,000ක සීමාවක් පැනවීමට ඔවුන් කටයුතු කළ බව අපි ඔබව මීට කලින් දැනුවත් කළා මතක ඇති.

මේ අනුව Photos 1,000 ට වැඩි ප්‍රමාණයක් තිබුණු ගිණුම් වලින් එම සීමාව ඉක්මවා යන photos මකා දමනු ලබන බවත්, අදාල photos ජනවාරි 8 වැනිදාට ප්‍රථමව backup කරගන්නා ලෙසත් ඔවුන් පසුගිය නොවැම්බර් මස ප්‍රකාශ කළා.

කොහොම නමුත් මේ සීමාව Creative Common License එක යටතේ Flickr වෙත upload කර ඇති, එහෙමත් නැතිනම් ඕනෑම කෙනෙකුට නොමිලයේ භාවිතා කළ හැකි ලෙස upload කර ඇති photos මේ ආකාරයෙන් delete නොකර සිටීමට Flickr සමාගම තීරණය කර තිබෙනවා.

මේ වන විට ඔවුන් සතුව මේ බළපත්‍රය යටතේ upload කර ඇති photos මිලියන 500ක් පමණ තිබෙන බවත්, මේ තරම් free photos ප්‍රමාණයක් තිබෙන එකම සේවාව ඔවුන් බවත් පෙන්වා දෙන Flickr සමාගම මේවා මේ වන විටත් අන්තර්ජාලය පුරාවට link කර ඇති හෙයින් එම images delete කිරීමට කටයුතු නොකරන බව ඔවුන්ගේ නිළ Blog එක හරහා ප්‍රකාශ කර තිබෙනවා.

කොහොම නමුත් මෙලෙස upload කර ඇති photos වල bulk license change tool එක, එහෙමත් නැතිනම් එක විටදී photos ගණනාවක license එක වෙනස් කිරීමේ හැකියාව free accounts වලින් ඉවත් කිරීමට ද මොවුන් කටයුතු කරනු ලබනවා.


මීට අමතරව මේ වන විට ජීවතුන් අතර නොමැති පුද්ගලයන් භාවිතා කළ Flickr account වල තිබෙන සියළුම photos ඒ ආකාරයෙන්ම තැබීමටත්, අදාල account එකේ නම ඉදිරියෙන් “in memoriam” ලෙස දර්ශනය කිරීමටත් මෙන්ම එම account එක වෙනත් කෙනෙකුට login වීමට නොහැකි වන ලෙස lock කිරීමටත් Flickr සමාගම කටයුතු කරනු ලබනවා.

මේ අනුව යම්කිසි පුද්ගලයෙකු මියගියහොත් ඒ බව Flickr සමාගම දැනුවත් කිරීම සඳහා උපදෙස් අඩංගු වෙබ් පිටුවක් ද එළිදැක්වීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Flickr Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.