පසුගිය මාස කිහිපය ඇතුලත Apple සමාගම විසින් Facebook සමාගමේ App එකක් වන Onavo VPN app එක තම AppStore එකෙහි නීති වලට පටහැණිව දත්ත එකතු කරන බව ප්‍රකාශ කරමින් එය තහනම් කිරීමට කටයුතු කළා දකින්නට ඇති.

ඔන්න දැන් Facebook සමාගම විසින් මෙම VPN සේවාව සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙන අතර Google Play Store එකෙන් ද මේ Onavo app එක ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.


Facebook සමාගමේ පර්යේෂණ කටයුතු සඳහා දත්ත එකතු කිරීම වෙනුවෙන් 2010 වර්ෂයේදී පමණ මෙම සේවාව ලොවට ඉදිරිපත් කරනු ලැබූ අතර, ඔවුන් මෙය ප්‍රසිද්ධ කරනු ලැබුවේ භාවිතා කරන්නන්ගේ පෞද්ගලික දත්ත වලට උපරිම ආරක්ෂාවක් ලබා දෙන සේවාවක් වශයෙනි.

කොහොම වුණත් මේ App එක භාවිතා කරන්නන් විසින් භාවිතා කරන වෙනත් apps, එම apps වල ගත කරන කාලය, සෑම app එකකටම ලබා ගන්නා Wi-Fi සහ mobile data ප්‍රමාණය, රට  මෙන්ම පරිශීලකයා භාවිතා කරනු ලබන වෙබ් අඩවි වැනි සියළුම දත්ත මේ හරහා ලබා ගැනීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

Buzzfeed වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට Facebook සමාගම විසින් ඩොලර් බිලියන 16ක් වැනි අති විශාල මුදලක් ගෙවා WhatsApp ආයතනය මිලදී ගැනීමට පෙළඹීමට හේතු වූ තීරණය ගැනීම සිදු කර තිබෙන්නේ ද මේ App එක හරහා ලබා ගත් දත්ත වලට අනුව Facebook සමාගමේ Messenger සේවාවට වඩා ඉතාමත් වේගයෙන් WhatsApp සේවාව භාවිතා කිරීමට අදාල පරිශීලකයන් පෙළඹී තිබූ නිසාවෙනි.


මෙම සේවාව පිළිබඳව මුලින්ම මතභේදයක් හටගැනීම සිදු වූයේ පසුගිය වසරේ Apple සමාගම විසින් Apple App Store එකේ නීති වලට පටහැනිව මෙම App එක කටයුතු කර ඇති බව චෝදනා කිරීමත් සමඟින් වන අතර මේ වන විට මේ App එක භාවිතා කිරීම වෙනුවෙන්, එනම් කැමැත්තෙන්ම තම දත්ත Facebook සමාගමට ලබා දීම වෙනුවෙන්  මාසයකට ඩොලර් 20ක් දක්වා මුලදක් ගෙවීමට පවා Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

මේ වන විට Install කර තිබෙන app භාවිතා කරමින් මෙම පරීක්ෂණ කටයුතු තවදුරටත් කරගෙන යන නමුත් මෙම ව්‍යාපෘතියට අලුතින් පරිශීලකයන් බඳවාගැනීම හෝ ‍AppStore හෝ Google Play Store එක හරහා මෙම app එක download කරගැනීමට තවදුරටත් අවස්ථාව ලබා නොදීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, BuzzFeedNews වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.