ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රි 9.30 සිට පමණ මෙම Facebook සමාගමට අයත් සමාජ මාධ්‍යන් වන WhatsApp , Instagram , Facebook Messenger ඇතුළු සමාජ මාධ්‍යජාලා වෙත අන්තර්ජාලය ඔස්සේ පරිශීලකයන්ට පිවිසිය නොහැකි වුණා. මේ පිළිබදව අපගේ Instant කෙටි පුවත් සේවාව හරහ ඔබ දැනුවත් කළා ඔබට මතක ඇති.

TechNews.LK
මේ වන විට Facebook සමාගමට අයත් Facebook, Instagram, WhatsApp සහ Facebook Messenger යන සේවාවන් සියල්ල අකර්මන්‍යය වී ඇති බව වාර්තා වෙනවා. තවමත් මීට හේතුව කුමක් ද යන්න පැහැදිලි නොවන අතර, මෙහි අලුත්ම තත්ත්වය පහළ link එක භාවිතා කරමින් DownDetector වෙබ් අඩවිය මගින් නිරීක්ෂණය කළ හැක.
Instants කෙටි පුවත් සේවය - Telegram

සමාජ මාධ්‍යය බිඳ වැටීම් පිළිබඳ ග්‍රාහක දත්තවලට අනුව මෙය 2019 වර්ෂයෙන් පසුව මෙතෙක් ලොව සිදු වූ විශාලතම බිඳ වැටීමයි. මෙවැනි Facebook සේවාවේ බිද වැටීමක් මීට පෙර වාර්ථා වූයේ 2019 වර්ෂයේදී වීම විශේෂත්වයකි. ඊයේ දිනයේදී සිදු වු මෙම අකර්මණ්‍ය වීම පිළිබඳව ලොව පුරා Facebook සේවා වෙත පිවිසීමේ ගැටලු මිලියන 10.6 ක් වාර්තා වී තිබෙන අතර බොහෝ පරිශීලකයන් මේම ගැටළු පිළිබදව DownDetector.com හරහා ප්‍රකාශ කර තිබුණා.

මෙම බිඳවැටීමට හේතුව පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට Facebook සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ data centers අතර communicate කිරීම සඳහා භාවිතා කරන routers වල ගැටළුවක් මෙයට හේතු වී ඇති බවයි.

බිඳවැටීම පිළිබඳව වන තාක්ෂණික විග්‍රහය මෙම ලිපියෙහි අග කොටසෙහි සඳහන් කර ඇත.

Update about the October 4th outage
To those around the world who depend on us, we are sorry for the inconvenience caused by today’s outage across our platforms.
Facebook සමාගමේ නිළ නිවේදනය

මේ අතර Facebook සමාගමේ හිමිකරු වන Mark Zuckerberg ලොව පුරා මෙම ගැටළුවට මුහුණ දුන් පරිශීලකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ආන්දෝලනාත්මක සහ ලෝකය පුරා කතා බහට ලක්වන කාරණාව වන්නේ AP International News Agency විසින් නිකුත් කරන ලද වාර්ථාවකට අනුව Francis Morgan විසින් අධ්‍යක්ෂණය කරන ලද 60 Minutes නම් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වූ Facebook සමාගමේ හිටපු Data Scientist කෙනෙක් වන Frances Haugen විසින් අනාවරණය කරන ලද මතභේදාත්මක Facebook දත්ත සහ රහස්‍ය තොරතුරු මෙම Facebook සමාගමේ අකර්මන්‍ය වීමට හෙතුව වී ඇති බවයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3.30ට පමණ Facebook, WhatsApp, Instagram සහ Messenger යන සේවාවන් වෙත පිවිසීමට පරිශීලකයින්ට හැකි වී තිබෙනවා. මෙම යාවත්කාලීන කිරීම පිළිබදව Facebook ආයතනය නිළ වශයෙන් Twitter පණිවුඩයක් ද නිකුත් කර තිබෙනවා.

මෙම Facebook සමාජ මාධ්‍යවල බිඳ වැටීම හේතුවෙන් Facebook ආයතනයේ හිමිකරු වන Mark Zuckerberg ට ඩොලර් බිලියන 06ක පමණ පාඩුවක් සිදු ව ඇති බව වාර්තා වනවා. ෆේස්බුක් කොටස් අගය 5% කින් පමණ පහත වැටුණු අතර, මෙම සේවා අකර්මන්‍ය වූ පැය 6 ක කාලය ඇතුළත Mark Zuckerberg වත්කම ඩොලර් බිලියන 121.6 දක්වා පහත වැටී තිබෙනවා.

ඔහු Bloomberg බිලියනපතිවරුන්ගේ දර්ශකයේ Bill Gates වඩා පහළින් හයවැනි ස්ථානයට පත් කරන්නට මෙම බිඳවැටීමට හැකියාව ලැබී තිබෙනවා.

Facebook Common Stock Market Summary

සිදු වූ ගැටළුව පිළිබඳව සරළ තාක්ෂණික විග්‍රහයක්

මූලිකව මෙම ගැටළුවට හේතු වී ඇත්තේ Facebook සමාගමේ DNS පද්ධතියේ බිඳවැටීමක් වන අතර, මේ නිසාවෙන් facebook.com යන වෙබ් ලිපිනයට අදාල IP Address ලබාගැනීමට අනෙකුත් DNS සේවාවන් වලට හෝ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

DNS ගැන කෙටියෙන්: Domain Name System එකකින් සිදු කරනුයේ යම්කිසි domain name එකකට (උදා: facebook.com) අදාල වන servers වල IP Address ලබාදීමයි.  (DNS පිළිබඳව වැඩිදුර දැනගැනීමට මෙම ලිපිය කියවන්න)

අන්තර්ජාලය යනු networks of network, එහෙමත් නැතිනම් network වලින් නිර්මාණය වුණු network එකක් බව ඔබ නිර්වචන වලින් අසා ඇති. මේ කුඩා network එකිනෙක අතර සම්බන්ධතාවය පවත්වාගැනීම සඳහා BGP, එහෙමත් නැතිනම් Border Gateway Protocol නමින් හඳුන්වන තවත් (ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වන) පද්ධතියක් තිබෙනවා.

මෙහි කාර්යය වන්නේ තනි තනි ‍networks ඇති බව (සහ එම network එකට අදාල IP Addresses) අනෙකුත් network වලට දැනුම්දීමයි. උදාහරණයක් ලෙස Facebook නම් වූ network එකක් ඇති බව Internet එකේ ඇති අනෙකුත් ISP වරුන් සහ වෙනත් network වලට දැනුම්දීම පෙන්වාදිය හැකියි.

Facebook සමාගමේ මෙම DNS අකර්මන්‍ය වීම අතරතුරදී මෙම BGP පද්ධතිය තුළ Facebook network එක පිළිබඳව ඇති entries වෙනස් කිරීමකට ලක් වී තිබෙනවා. (සාමාන්‍යයෙන් මෙම entries බොහෝ කලාතුරකින් පමණක් වෙනස් කරනු ලබයි)

ඒ හේතුව නිසාවෙන් අනෙකුත් network වලට (සහ ISP වරුන් හට සහ අවසානයේ ඔබ භාවිතා කරන web browser එකට) Facebook network එක සොයාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මෙම අවස්ථා වන විට ලොව පුරා පරිශීලකයින් හට Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලයම භාවිතා කිරීමට නොහැකි වන නිසාවෙන් ඔවුන් නැවත නැවතත් එයට connect වීමට උත්සාහ කරනු ලබනවා. මේ හේතුව නිසාවෙන් Google, Cloudflare වැනි අනෙකුත් DNS සේවාවන් ලබාදෙන servers වලට එල්ල වන ධාරිතාවය ක්ෂණිකවම ඉහළ යනවා. මේ හේතුවෙන් අනෙකුත් Website වලට පිවිසීමේදී ද මන්දගාමී ගතියක් අත්විඳීමට පරිශීලකයින් හට සිදු වෙනවා.

Cloudflare DNS resolver එකේ Facebook network සඳහා වූ request වල ඉහළ යෑම

එමෙන්ම මෙම සේවාවන් අකර්මන්‍ය වී ඇත්දැයි දැනගැනීම සඳහා වන isitdownrightnow.com වැනි වෙබ් අඩවි ද අධික පරිශීලකයින් ප්‍රමාණය හමුවේ අකර්මන්‍යය වී තිබුණා.

මීට අමතරව Facebook, WhatsApp ඇතුළු සේවාවන් අකර්මන්‍ය වීමෙන් අනතුරුව Twitter සහ Telegram වැනි සේවාවන් වෙත එන පිරිස ක්ෂණිකවම ඉහළ ගිය අතර, එම සේවාවන් වල ද මන්දගාමී ගතියක් ඇති බව ඔවුන් වාර්තා කරනු ලැබුවා.

Facebook සමාගම විසින් ඔවුන්ගේ DNS resolver එක නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කර ඇති අතර, ඊට අදාල BGP entries ද update කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් මෙය DNS පිළිබඳව වන ගැටළුවක් නිසාවෙන් ඇතැම් DNS resolvers update වීම සඳහා ඇතැම් විට පැය 72ක් දක්වා කාලයක් ගතවිය හැකි බව මතක තබාගත යුතු වෙනවා. මෙවැනි අවස්ථාවදී Google DNS හෝ Cloudflare DNS භාවිතා කරමින් මෙම ගැටළුව මගහරවාගැනීමට හැකියාව තිබෙනවා.

ඉහත දක්වා ඇත්තේ සාමාන්‍යය දැනුමත් ඇති අයෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස අතිශය සරළ කරන ලද කෙටි විග්‍රහයක් වන අතර, internet එක ක්‍රියාත්මක වන්නේ මීට වඩා අතිශය සංකීර්ණ ක්‍රියාවලීන් සහ පද්ධතීන්ගේ එකතුවක් ලෙස බව සළකන්න. එමෙන්ම Facebook network එක ලෙස හඳුන්වා ඇත්තේ Facebook සමාගමට අයත් Facebook, WhatsApp, Instagram සහ Messenger යන සේවාවන් සියල්ලෙහිම network එක බව ද සළකන්න.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ BBC.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.