Active පරිශීලකයන් බිලියන 2.5 කට වඩා සිටින Facebook සේවාව යටතේ WhatsApp, Instagram, Facebook Messenger, Oculus වැනි සමාජ මාධ්‍ය සේවාවන් කිහිපයක් අධීක්ෂණය කරමින් පරිපාලනය වනවා.

2015 වසරේදී Google ආයතනයට අයත් Google fiber, Fitbit, DeepMind හා CapitalG වැනි ආයතන 13ක් එක්කොට Alphabet නමින් තනි ආයතනයක් නිර්මාණය කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.‌‌

Facebook සමාගමද සිය සේවා එකාබද්ධ කොට මව් සමාගමක් ලෙසින් සිය සමාගම් මව් නාමය වෙනස් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

මේ පිළිබඳ එළඹෙන ඔක්තෝබර් 28 දින පැවැත්වීමට නියමිත වාර්ෂික සම්බන්ධක සමුළුවේදී සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක Mark Zuckerberg විසින් කතා කිරීමට නියමිත බව දැනට ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් Facebook සමාගම තවමත් නිළ ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Facebook සමාගමේ දැනටමත් 10,000 කට අධික සේවක සේවිකාවන් සංඛ්‍යාවක් සේවය කරන අතර ඉදිරි කාලය තුළදී AR Glasses හා Smart Phones වැනි දෘඩාංග මට්ටමේ තාක්ෂණික නිෂ්පාදන එළිදැක්වීමට නියමිතයි. Mark Zuckerberg පවසන පරිදි ඔහුට මූලික වශයෙන් අවශ්‍ය වී ඇත්තේ ඔහුගේ සමාගම ලෝකයේ මිනිසුන් සමාජ මාධ්‍ය සමාගමක් ලෙස දකින ආකාරය වෙනස් කිරීමයි.‌‌

කෙසේ වෙතත් ඔහුගේ අදහස් අනුව පැහැදිලි වන්නේ ඊළඟ පරම්පරාවේ තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා Facebook ආයතනය අඩිතාලමක් දමමින් සිටින බවයි.‌‌ Facebook සමාගමේ AR, VR තාක්ෂණය හා සම්බන්ධ ප්‍රධානී ලෙස Andrew Bosworth නම් කරන බවත් නිවේදනය කළේය. එමෙන්ම යුරෝපයෙන් සේවකයින් 10,000 ක් බඳවා ගැනීමට සැලසුම් කරන බව Facebook සමාගම දින කිහිපයකට පෙර නිවේදනය කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.