ඇෆ්ගනිස්තානය, මේ දිනවල ලෝකය පුරාම කතාබහට ලක්වෙන රාජ්‍යයක් වන අතර එයට හේතුව තලෙයිබාන් ත්‍රස්තවාදී සංවිධානය විසින් එරට බලය අල්ලාගැනීම වන බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වෙනවා.

මෙම ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධයෙන් සියලුම අන්තර්ගතයන් සිය සමාජ මාධ්‍ය ජාලා තුළ තහනම් කිරීමට Facebook සමාගම කටයුතු කර තිබෙන අතර, ඒ අනුව Facebook සමාගම සතු Facebook, Instagram හා WhatsApp යන සමාජ මාධ්‍යයන් හරහා තලෙයිබාන් සංවිධානයට කිසිදු ආකාරයේ තොරතුරු share කරගැනීමක් සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එක්සත් ජනපද නීතිය අනුව තලෙයිබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අතර, ඒ අනුව Facebook සමාගම අනුගමනය කරන අන්තරායකර සංවිධාන සම්බන්ධ නීති-රීති වලට අනුව මෙම තහනම් කිරීම සිදු කර තිබෙනවා.

තලෙයිබාන් සංවිධානය විසින් සිය පණිවිඩ සමාජගත කිරීම සඳහා Facebook, Twitter වැනි සමාජ මාධ්‍යයන් භාවිතා කිරීමට පෙළඹීමත් සමග, මෙම සමාගම් වලට එවැනි අන්තර්ගතයන් නියාමනය කිරීමේ අභියෝගයකට මුහුණදීමට සිදු වී තිබෙනවා.

තලෙයිබානුවන් විසින් සිය අදහස් ඇෆ්ගනිස්තානුවන් හා බෙදා ගැනීම සඳහා WhatsApp සමාජ මාධ්‍ය භාවිතා කරන බව වාර්තා වී තිබෙන අතර, මේ අනුව ඉදිරියේදී එවැනි කටයුතු WhatsApp හරහා සිදු කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇති.

මෙම තීරණයත් සමඟ Facebook සමාගම ප්‍රකාශ කරන්නෙ අලුත් රජයන් බිහි වීම හෝ ඒවා රාජ්‍යන් ලෙස පිලිගැනීම සිය සමාගමේ කටයුත්තක් නොවන බව හා තමන් සිදු කරනුයේ ජාත්‍යන්තර ප්‍රජාවේ උපමානයන්ට ගරු කිරීම පමණක් වෙන බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.