අක්කර 15කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිරෙන ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වූ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 75 වන දියමන්ති ජුබිලිය සැමරීම වෙනුවෙන් සංවිධානය කර ඇති 'EngEx 2025' ඉංජිනේරු ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදැක්වීමේ මාධ්‍ය හමුවක් ඊයේ (26) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. "ජීවිතය සඳහා ඉංජිනේරු විද්‍යාව" (Engineering for Life) යන තේමාව යටතේ 2025 සැප්තැම්බර් 23 සිට 27 දක්වා දින පහක් පුරා පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්වීමට නියමිත මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වූ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය වනු ඇති බවයි එහිදී සඳහන් වුනේ. 

මාධ්‍ය හමුව ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා, SLT-MOBITEL හි ප්‍රධාන අලෙවි නිලධාරී ඉංජිනේරු ප්‍රභාත් දහනායක මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පවතී අතර, ප්‍රදර්ශනයේ විස්තර, අනුග්‍රාහකත්වයන් සහ එහි වැදගත්කම පිළිබඳව සවිස්තරව මෙහෙදී ඉදිරිපත් කෙරිණි. 

EngEx 2025 ප්‍රදර්ශනය විශ්වවිද්‍යාල භූමියේ අක්කර 15කට අධික භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් වන අතරම, EngEx 2025 වෙත කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, ආයෝජකයින්, විද්වතුන්, වෘත්තිකයන්, පාසල් සිසු සිසුවියන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළුව 50,000කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කරනවා.

මෙම ප්‍රදර්ශනය තුළින් ඉංජිනේරු පීඨයේ නවීනතම පර්යේෂණ, නව්‍ය ශිෂ්‍ය ව්‍යාපෘති සහ කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ ඇති ශක්තිමත් සම්බන්දතාවයන් හා හවුල්කාරිත්වයන් ජාතික වේදිකාවකදී ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිවේවි. ඊට අමතරව දැනුම හුවමාරුව සහ අනාගත පරපුර දිරිගැන්වීම, තරුණ තරුණියන් ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයන්හි අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමත්, ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීමට ඔවුන් පෙළඹවීමත් අපේක්ෂා මුලික අරමුණු අතර වෙනවා.

ප්‍රදර්ශනය නවීන ඉංජිනේරු විද්‍යාවේ විවිධ අංශ ආවරණය වන පරිදි විශේෂිත කලාප දහයකින් සමන්විත වෙනවා:

  • කෘත්‍රිම බුද්ධිය, යන්ත්‍ර ඉගෙනුම සහ දත්ත විද්‍යාව (Artificial Intelligence, Machine Learning, and Data Science)
  • ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව (Biomedical Engineering and Mechatronics)
  • ඉලෙක්ට්‍රොනික සහ කාවැද්දූ පද්ධති (Electronics and Embedded Systems)
  • රොබෝ විද්‍යාව, ස්වයංක්‍රීයකරණය සහ නිෂ්පාදනය (Robotics, Automation, and Manufacturing)
  • තොරතුරු තාක්ෂණය සහ පරිගණක විද්‍යාව (Information Technology and Computing)
  • බලශක්තිය, පරිසරය සහ තිරසාරත්වය (Energy, Environment, and Sustainability)
  • ස්වභාවධර්මය පදනම් කරගත් තාක්ෂණයන් (Nature-Based Technologies)
  • ද්‍රව්‍ය සහ නැනෝ තාක්ෂණය (Materials and Nanotechnology)
  • නවීන ඉදිකිරීම් තාක්ෂණයන් (Modern Construction Technologies)
  • විද්‍යාව, විනෝදාස්වාදය සහ ඉංජිනේරු විද්‍යාවේ ගණිතය (Science, Entertainment, and Mathematics of Engineering)
  • මීට අමතරව, කෘත්‍රිම බුද්ධිය සඳහාම වෙන්වූ විශේෂ ප්‍රදර්ශන කලාපයක් (AI Expo), අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන කුටි සහ සජීවී නිරූපණයන් ඇතුළත් වීම විශේෂත්වයකි.

මෙම ඉසව්වේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස SLT-MOBITEL සමාගම එක්ව ඇති අතර, ඔවුන්ගේ ප්‍රදර්ශන කුටියේදී 5G ක්‍රීඩා කලාපයක්, AR/VR සහ AI තාක්ෂණ නිරූපණ, SD-WAN, Akaza Multi Cloud, Fleet Management Systems, SLTravel Platform, Kaspersky සහ Play Street වැනි නවීන ඩිජිටල් විසඳුම් ප්‍රදර්ශනය කෙරේ. මීට අමතරව, FTTR තාක්ෂණය සහ Broadband සේවා අත්හදා බැලීමේ අවස්ථාව ද ලැබේ. 

ප්‍රදර්ශනය සඳහා ප්‍රවේශපත් සැප්තැම්බර් මුල සිට https://engex2025.pdn.ac.lk/ වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව මෙන්ම, ඉසව්ව අතරතුර දොරටුවෙන් ද මිල දී ගත හැක. පාසල් සිසු දරුවන් සඳහා විශේෂ මාර්ගගත ලියාපදිංචි ක්‍රියාවලියක් ද සකස් කර ඇති බවත් අපට මෙහිදී දැනගන්නට ලැබුනා.

💡
1950 දී ආරම්භ වූ පේරාදෙණිය ඉංජිනේරු පීඨය, ජාතික සංවර්ධනයට දායක වූ ඉංජිනේරුවන් පරම්පරා බිහිකළ මෙරට ප්‍රමුඛ ආයතනයකි. EngEx 2025 ජාතික සංවර්ධනයට නව මන් පෙත් විවර කරනු ඇති අතරම මෙම ප්‍රදර්ශනය පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උරුමය සහ නවීන තාක්ෂණික ජයග්‍රහණ ලෝකයට විදහා දැක්වීමට අනන්‍ය අවස්ථාවක් සලසනු ඇත.