පසුගිය දින වල ඇමෙරිකාව විසින් ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි අනුමාන කරමින් Huawei සමාගමේ නිෂ්පාදන එරට තුළ භාවිතා කිරීම අවහිර කළ බව ඔබට මතක ඇති.

ඔන්න දැන් චීන රජය විසින් ඔවුන්ගේ ආරක්ෂක අංශ වල භාවිතා කරනු ලබන Windows මෙහෙයුම් පද්ධතිය ඉවත් කර, ඒ වෙනුවට චීනයේ ම නිෂ්පාදනය කරනු ලබන මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමට සූදානම් වන බව වාර්ථා වෙනවා.

ඇමෙරිකානු රජය හා සම්බන්ධ හැකර්වරුන්ගෙන් එල්ල වන සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා මේ පියවර අනුගමනය කිරීමට චීන රජය තීරණය කර ඇති අතර Windows හැර යන බොහෝ දෙනාගේ මීළඟ තේරීම Linux වුවත්, open-source මෘදුකාංග කෙරෙහි ද චීන රජය විශ්වාසයක් නොතබන බවත්, ඒ වෙනුවට අලුතින්ම මෙහෙයුම් පද්ධතියක් ඔවුන්ගේ රට තුළදීම නිර්මාණය කිරීමට ඔවුන් සූදානම් වන බවත් දැනගන්නට ලැබෙනවා.

විශේෂයෙන්ම Edward Snowden වැනි පුද්ගලයන් (වැඩි විස්තර සඳහා Snowden Movie එක නරඹන්න) හා වෙනත් sources වලින් ලැබෙන තොරතුරු හරහා Windows, Linux සහ Mac OS වලදී සයිබර් ප්‍රහාර සිදු කිරීමට ඇමෙරිකාව හට ඇති හැකියාව පිළිබඳව චීන රජය මේ වන විටත් හොඳ අවබෝධයකින් පසු වෙනවා.

මෙලෙස අලුතින් නිර්මාණය කරන මෙහෙයුම් පද්ධතියට චීන රජයට සම්පූර්ණ access ලැබෙන අතර වෙනත් රටවල් වල නිෂ්පාදනය කරනු ලබන මෘදුකාංග වල නිෂ්පාදකයා විසින් ඇතුළු කර තිබෙන backdoors, එහෙමත් නැතිනම් අලෙවි කිරීමෙන් පසුව මෙම මෘදුකාංග හරහා අදාල පද්ධති වලට පිවිසීමට භාවිතා කරන රහස් පිවිසීමේ මාර්ග වලින් ඇති අවධානම සම්පූර්ණයෙන්ම පහ කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව වාර්ථා වෙනවා.

මීට ප්‍රථමව ද ඇමෙරිකාව විසින් චීන රාජ්‍යය නිළධාරීන්ගේ දත්ත සොරා ගැනීමට Windows මෙහෙයුම් පද්ධතියේ තිබෙන backdoors භාවිතා කරන බව පවසමින් සියළුම රාජ්‍යය ආයතන වලින් Windows මෙහෙයුම් පද්ධතිය ඉවත් කළ යුතු බවට අදහස් පළ කර තිබුණු අතර Windows 8 මෙහෙයුම් පද්ධතිය මේ වන විටත් බොහෝ චීන රාජ්‍යය ආයතන වල භාවිතා කිරීම අවහිර කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, Forbes වෙබ් අඩවිය හා TechRadar වෙබ් අඩවිය භාවිතා කළ හැක.