Apple සමාගමේ FaceTime සේවාවේ වූ ආරක්ෂක දුර්වලතාවයක් නිසා පසුගියදා මේ සේවාව තාවකාලිකව නවත්වා දැමීමට Apple සමාගම කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

එමෙන්ම පසුගිය 7 වැනිදා iOS 12.1.4 update එකත් සමඟින් මේ bug එක fix කිරීමට Apple සමාගම කටයුතු කර තිබුණු අතර, මේ bug එක පළමුවෙන්ම Apple සමාගම වෙත වාර්ථා කළ වයස අවුරුදු 14ක් වන Grant නැමැති දරුවෙකු හට ත්‍යාගයක් පිරිනමන්නට Apple සමාගම කටයුතු කර තිබෙන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මූලිකව Apple සමාගම මේ වෙනුවෙන් උනන්දුවක් නොදැක්වුවත්, Catalina Foothills High School එකෙහි ඉගෙනුම ලබන Grant Thompson හට අදාල bug එක fix කිරීමෙන් අනතුරුව ඊට අදාල ත්‍යාගය මුදලින් ගෙවා ඇති නමුත් අදාල මුදල කොපමණදැයි වාර්ථා වෙන්නේ නැහැ.

Grant Thompson සහ ඔහුගේ මව Michele

Bug bounty program එකක්, එහෙමත් නැතිනම් bug එකක් වාර්ථා කළ විට ත්‍යාගයක් ලබා දීමේ වැඩසටහනක් සෑම ප්‍රධාන මෘදුකාංග නිෂ්පාදනික ආයතනයකටම පාහේ තිබෙන අතර Apple සමාගම මෙවැනි වැඩසටහනක් මීට අවුරුදු තුනකට පමණ ඉහතදී ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වැඩසටහන යටතේ වාර්ථා කරන bugs, එහෙමත් නැතිනම් දුර්වලතා වලට ඒවායේ ස්වභාවය අනුව ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් ($200,000) දක්වා මුදලක් පිරිනැමීමට Apple සමාගම කටයුතු කරනු ලබනවා.

කොහොම නමුත් මේ ආකාරයේ bug එකක් හඳුනාගත් විට Dark web එක වැනි වෙනත් තැන් වලදී ඒවාට මීටත් වඩා මිලක් ලැබෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්.

එමෙන්ම පසුගිය දිනෙක security researcher කෙනෙකු විසින් macOS වල දුර්වලතාවයක් සොයාගෙන ඇති අතර ඔහු එය Apple සමාගම වෙත ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ අදාල වැඩසටහන මගින් මුදල් ලබා දෙනුයේ iOS වල bugs සඳහා පමණක් වීම නිසාවෙන් බවත් වාර්ථා වෙනවා.

iOS 12.1.4 update එක හරහා ඉහත සඳහන් කළ bug එකට අමතරව FaceTime පහසුකමට සම්බන්ධ, නමුත් කලින් සොයාගැනීමට අපොහොසත් වූ තවත් bug එකකට ද fix එකක් ලබා දී තිබෙන බව ප්‍රකාශ කරන Apple සමාගම, මේ වන විටත් අලුත්ම update එක ලබා නොගත් පරිශීලකයන් හට හැකි ඉක්මණින් මේ update එක ලබා ගන්නා ලෙස ද ඉල්ලා සිටිනවා.

එමෙන්ම අලුත් update එක ලබා නොගත් පිරිසගේ ආරක්ෂාව තර කිරීමේ අදහසින් එම update එක නොමැති devices වලින් FaceTime හෝ Live Photos පහසුකම් භාවිතා කිරීමේ හැකියාව අවහිර කිරීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.