මිලදී ගැනීමෙන් පසු smartphone වල මිල අඩු වීමේ වේගය පිළිබඳව BankMycell ආයතනය වාර්ෂිකව නිකුත් කරන වාර්තා මාලාවේ, 2020 වර්ෂය සඳහා වන වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙම වාර්තාවට අනුව Android ජංගම දුරකථනයක් මිලදී ගෙන වසරක් තුළ එහි වටිනාකම iPhone වලට වඩා දෙගුණයක් පමණ අඩුවන බව සොයාගෙන තිබෙන අතර, එය සංඛ්‍යාත්මකව ගතහොත් Android දුරකතනයක් මිලදී ගෙන වසරක් තුළ 33.62% මිල අඩුවන අතර iPhone වල මිළ එලෙස අඩුවන්නේ 16.70% ප්‍රමාණයකින් පමණයි.

එමෙන්ම මිලදී ගෙන වසර දෙකකට පසුව Android ජංගම දුරකථනයක් 61.50% කින් මිල අඩුවෙන අතර, iPhone එකක් එලෙස මිල අඩු වන්නේ 33.70% පමණ ප්‍රමාණයකින් වෙනවා.

වසර හතරකට පසුව Android flagship උපාංගයක් 81.11% කින් හා midrange හා entry-level උපාංගයක් අඩුම 95% කට ආසන්න අගයකින් හෝ මිල අඩු වෙන බව මෙම සමීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

නමුත් iPhone මිලදී ගෙන වසර හතරක් තුළ මිල අඩුවන්නේ 66.43% කින් පමණයි.

මිලදී ගැනීම්න් පසු වසරක් තුළ වේගයෙන් ම මිල අඩුවන වෙළඳනාම ලෙස HTC, Motorola හා Sony සඳහන් කර තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින්, 53.08% ක්, 42.57% හා 39.51% ක් පමණ වෙනවා.

ජංගම දුරකථන ලෝකය තුළ විශාලතම තරඟය තිබෙන Samsung හා Apple වෙනවෙනම ගත් කල, Galaxy S20 එකක් මිලදී ගෙන මාස 9 ක් තුළ 34.78% කින් මිල අඩුවෙන නමුත් iPhone 11 මිලදී ගෙන මාස 9ක් තුළ මිල අඩු වී තිබෙන්නේ 12.84% කින් පමණක් වෙනවා.

එමෙන්ම Galaxy S20+ හා S20 Ultra යන මාදිලි මිලදී ගෙන මාස නවයක් තුළ පිළිවෙලින් 30.59% කින් හා 36.30% කින් මිල අඩු වී ඇති අතර, iPhone 11 Pro හා 11 Pro Max යන මාදිලි මිලදී ගෙන මාස 9 ක් තුළ පිලිවෙලින් 21.31% කින් හා 15.96% ක අගයකින් පමණක් මිල අඩු වී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchina වෙබ් අඩවිය සහ MyBankCell වෙබ් අඩවිය භාවිතා කළ හැක.