අන්තර්ජාලය තුළ වැඩිම කාලයක් තිස්සේ පැවතුණු විශාලතම Q&A platform වලින් එකක් වන Yahoo Answers සේවාව මීළඟ මැයි 4 වැනි දින සිට අතහැරදැමීමට Yahoo සමාගම තීරණය කර තිබෙනවා.

2005 වර්ෂයේ ආරම්භ කළ මෙම ‍සේවාව මේ දක්වා ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින්ගේ ගැටළු වලට පිළිතුරු සපයාගැනීමට සහාය වූ අතර, මැයි 4 වැනි දින සිට Yahoo Answers වෙබ් අඩවියට ගිය පසු එය නැවතත් Yahoo home page එකට redirect කිරීමට ඔවුන් සැළසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් මේ දක්වා පළ කර ඇති ප්‍රශ්න හා ඒවායේ පිළිතුරු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට ද ඔවුන් තීරණය කර ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මීළඟ අප්‍රේල් 20 වැනි දින සිට අලුත් ප්‍රශ්න ඇසීමේ හැකියාව අවහිර කෙරෙනු ඇති බවත්, ජුනි 30 වැනි දින සිට පරිශීලක දත්ත ඉල්ලා සිටීමේ හැකියාව අහිමි වනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම වසාදැමීමට හේතුව වශයෙන් Yahoo සමාගම පෙන්වා දෙන්නේ කාලයත් සමඟින් Yahoo Answers platform එක ජනප්‍රිය බවින් අඩු platform එකක් බවට පත් වී ඇති බවයි. මේ සඳහා වෙන් කර ඇති resources ඉදිරියේදී ඔවුන්ගේ පරිශිලකයින් හට ඵලදායී යමක් වෙත යොමු කිරීමට ඔවුන් බළාපොරොත්තු වන බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ Yahoo Answers වෙබ් අඩවිය භාවිතා කළ හැක.