ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ගුවනේදී මිසයිල කිහිපයක් එක වර විනාශ කළ හැකි Laser weapon system එකක් සාර්ථකව අත්හදාබැලීමට කටයුතු කර තිබෙන බව මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මෙම Laser පද්ධතිය විශේෂයෙන්ම ගුවන්යානා වල ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කර ඇති අතර ගුවන්යානා වෙත එල්ල කෙරෙන මිසයිල වලින් බේරී සිටීමට මේ පද්ධතිය හරහා හැකියාව ලැබෙන බව මොවුන් පෙන්වා දෙනවා.

මෙම පද්ධතිය Self-Protect High Energy Laser Demonstrator (SHiELD) යන නමින් හඳුන්වනු ලබන අතර මෙය ගුවන්යානය මත සවි කළ හැකි ආකාරයට නිර්මාණය කිරීමට (අත්හදාබැලීම් කටයුතු පොලොව මතදී සිදු කර ඇත) ඔවුන් කටයුතු කරනු ලබන බව වාර්ථා වෙනවා.

‍මෙය ප්‍රධාන වශයෙන් Laser පද්ධතිය, laser beam එක එල්ල කිරීමේ ක්‍රියාවලිය පාලනය කරනු ලබන control system එක හා මේ පද්ධතියට බළය ලබාදීමට භාවිතා කරන pod එක වශයෙන් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වන අතර මේ හරහා surface-to-air (පොලොව මතුපිට සිට අහසට එවන ලද) හා air-to-air (ගුවනේ සිට තවත් ගුවන් යානයකට හෝ එවන ලද) මිසයිල වලට සාර්ථකව මුහුණදීමේ හැකියාව තිබෙනවා.

මේ හරහා යම්කිසි ඉලක්කයකට ඉතාමත් ඉක්මණින් පහරදීමේ හැකියාව ලැබෙන අතරම එය අවසන් වූ සැනින් තවත් targets වෙත සැනෙකින් පහර එල්ල කිරීමේ හැකියාව ද ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මීට අමතරව සාම්ප්‍රදායික flares හා jamming devices භාවිතා කිරීම වැනි ආරක්ෂිත උපක්‍රම වලට වඩා ඉතාමත් නිරවද්‍යය ලෙස අදාල කාර්යය සිදු කිරීමට මෙම පද්ධතියට හැකියාව තිබෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ව්‍යාපෘතිය 2016 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර 2017 වර්ෂයේදී Lockheed Martin සමාගමට මීට අදාල design එක සිදු කිරීමට භාර දී තිබෙනවා. මේ පද්ධතිය 2021 වර්ෂය වන විට අත්හදා බැලීමට ඉලක්ක කර තිබුණත් දැනටමත් එය හොඳ තත්ත්වයක තිබෙන බවත්, ඉදිරි කාළ සීමාව ඇතුලත එත තවත් කුඩා කර ගුවන්යානයකදී ඉතාමත් කාර්යයක්ෂම ලෙස භාවිතා කිරීමට හැකි ලෙස වැඩිදියුණු කිරීමට කටයුතු කරනු ලබන බව වාර්ථා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, LockheedMartin වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.