කොළඹ නගරය තවදුරටත් රස්නය උරාගන්නා කොන්ක්‍රීට් ගොඩක් ලෙස තබා ගන්නවාද, නැතහොත් සිසිල් හරිත නගරයක් බවට පත් කරනවාද යන්න තීරණය ඇත්තේ අප අතේය.


සාමාන්‍ය දිනයක කොළඹ වීදියක ඇවිදින ඔබට දැනෙන්නේ හුදෙක් ඉර අව්වේ රස්නය පමණක්ම නම් නොවේ. එය ඊට වඩා භයානක, ඇඟට අමාරු රස්නයක්. පර්යේෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට, කොළඹ නගරය අවට ග්‍රාමීය ප්‍රදේශවලට වඩා සෙල්සියස් අංශක 3 සිට 5 දක්වා ඉහළ උෂ්ණත්වයක් පෙන්නුම් කරනවා. 

මේ රස්නයට ප්‍රධානතම හේතුව Urban Heat Island (UHI) effect එකයි.

මෙහි බරපතලකම වටහා ගැනීමට කොළඹ නගරයේ පසුගිය දශක දෙකක දත්ත දෙස බැලිය යුතුය.

1997 සිට 2017 දක්වා වූ කාලය තුළ කොළඹ මහ නගර ප්‍රදේශයේ කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි සහිත බිම් (Impervious/Built-up land) ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. පර්යේෂණවලට අනුව, මීට සමගාමීව පොළව මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය (land surface temperature - LST) සෙල්සියස් අංශක 1.6 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, නගරය පුරා Hot-spots ව්‍යාප්ත වී ඇත.

මෙම ගොඩනැගිලි ව්‍යාප්තියත් සමඟම, කොළඹ ඇතැම් ප්‍රදේශවල හරිත ආවරණය (Vegetation) 30% ක පමණ ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව දත්ත මගින් තහවුරු වේ.

Learn more

ගස් කොළන් කපා දමා, ඒ වෙනුවට ඉදි වූ මෙම කොන්ක්‍රීට්, තාර සහ ගඩොල් ව්‍යුහයන් දවල් කාලයේ හිරු එළිය තදින් Absorb කර ගනී. ගැටලුව වන්නේ රාත්‍රී කාලයේදීයි; දවල් උරා ගත් තාපය රාත්‍රියේදී නැවත පරිසරයට මුදා හැරීම නිසා, ඉර බැස ගියත් නගරයේ රස්නය අඩු නොවේ.

මීට අමතරව වාහන සහ ගොඩනැගිලිවල ක්‍රියාත්මක වන Air Conditioners මගින් පිට කරන Anthropogenic heat මෙම තත්ත්වය තවත් දරුණු කරයි. අපි AC එක දාගෙන කාමරය ඇතුළ සිසිල් කරගත්තද, එම යන්ත්‍ර මගින් පිට කරන රස්නය සෘජුව එකතු වන්නේ නගරයේ වායුගෝලයටයි.

සීග්‍රයෙන් නාගරීකරණය වන ලෝකයේ බොහෝ රටවල් මෙම අභියෝගයට අප මෙන්ම මුහුණ දීමට සිදුව තිබෙනවා. මේ ගැටලුව තරමක් දුරට හෝ සමනය කරගන්න ඔවුන් විවිධාකාර උපයන භාවිත කරනවා.

කොලොම්බියාවේ හරිත විප්ලවය (Medellin’s Green Corridors)

Many of the gardeners who maintain the green corridors were displaced by armed conflict in Colombia
මෙම හරිත මංතීරු නඩත්තු කරන බොහෝ උද්‍යාන සේවකයින්, කොලොම්බියාවේ පැවති සන්නද්ධ ගැටුම් හේතුවෙන් අවතැන් වූවන්ය. - Getty Images

කොලොම්බියාවේ Medellin නගරය "කොන්ක්‍රීට් වනාන්තරයක්" හරිත පාරාදීසයක් කළ හැකි බවට ලෝකයටම පාඩමක් කියා දුන් නගරයක් ලෙස පැසසුමට ලක්වෙන නගරයක්. නගරයේ ඉහළ යන උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ඔවුන් "Green Corridors" නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළේය.

මෙහිදී ඔවුන් හුදෙක් ගස් සිටුවීමක් පමණක් සිදු නොකළ අතර, පාරවල් 18ක් සහ ජල මාර්ග 12ක් දිගේ එකිනෙකට සම්බන්ධ වූ හරිත ජාලයක් නිර්මාණය කළේය. මේ සඳහා ගස් 880,000කට අධික ප්‍රමාණයක් සහ පැල මිලියන 2.5ක් පමණ භාවිතා විය.

මෙම ව්‍යාපෘතිය මගින් මෙඩලින් නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 කින් පමණ අඩු කරගැනීමට හැකි විය. වඩාත් වැදගත් කරුණ නම්, එම ගස් සෙවන ඇති ස්ථානවල පොළව මතුපිට උෂ්ණත්වය අංශක 10 කින් පමණ අඩු වී තිබීමයි.

ස්පාඤ්ඤයේ "Qanats" සහ පුරාණ තාක්ෂණය

ස්පාඤ්ඤයේ Seville නගරය යුරෝපයේ රස්නය අධිකම නගරයකි. ඔවුන් මීට විසඳුමක් ලෙස භාවිතා කරන්නේ මීට වසර 3000කට පෙර පර්සියානුවන් සොයාගත් "Qanats" නම් භූගත ජල මාර්ග තාක්ෂණයයි.

නවීන තාක්ෂණය මුසු කරමින් ක්‍රියාත්මක වන CartujaQanat ව්‍යාපෘතිය හරහා, පොළව යටින් ගලා යන සිසිල් ජල මාර්ග සහ වාතය මගින් පොළව මතුපිට සිසිල් කිරීම සිදු කරයි. රාත්‍රී කාලයේ සිසිල් වන ජලය සහ වාතය ගබඩා කරගෙන දවල් කාලයේ ගොඩනැගිලි සිසිල් කිරීමට ඔවුන් මෙය යොදා ගනී. මෙමගින් නගරයේ තෝරාගත් කලාපවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 කින් පමණ අඩු කිරීම ඔවුන්ගේ ඉලක්කයයි. මෙය බලශක්තිය වැය නොකරන (Zero-energy) සිසිලන ක්‍රමයකි.

සිංගප්පූරුව සහ "Cool Materials"

The NTU team coated the roofs, walls and a road of an industrial area with cool paint for the trial.
NTU කණ්ඩායම විසින් කාර්මික ප්‍රදේශයක වහලවල්, බිත්ති සහ මාර්ගයක් මත සිසිලන තීන්ත (Cool paint) ආලේප කරන අවස්ථාවක් - Nanyang Technological University (NTU)

තද පැහැති වහලවල් සහ කළු පැහැති තාර පාරවල් මගින් තාපය උරා ගැනීම නගර රත්වීමට ප්‍රධාන හේතුවකි. මීට විසඳුමක් ලෙස සිංගප්පූරුව සහ ඇමරිකාව වැනි රටවල් "Cool Roofs" සහ "Reflective Paints" භාවිතය අත්හදා බලමින් ඉන්නවා.

විශේෂයෙන්ම හිරු එළිය පරාවර්තනය කරන විශේෂ තීන්ත වර්ගයක් පාරවල් සහ වහලවල් මත ආලේප කිරීම මගින්, එම මතුපිට උෂ්ණත්වය අංශක ගණනාවකින් අඩු කරගත හැකි බව ඔවුන් අනාවරණය කර ගෙන තිබෙනවා. සිංගප්පූරුවේ සහ ලොව පුරා සිදුකළ පර්යේෂණ වලට අනුව, මෙම "Cool Paint" තාක්ෂණය මගින් ගොඩනැගිලි තුළ උෂ්ණත්වය සහ පදිකයින්ට දැනෙන Thermal Comfort සැලකිය යුතු ලෙස අඩු කරගත හැක.

පොළව යට සැඟවුණු අනතුර - Underground Climate Change

අප නොසිතන තවත් බරපතල අනතුරක් ඇමරිකාවේ චිකාගෝ නගරයෙන් වාර්තා වේ. එනම් "Underground Climate Change" යන අනතුරයි.

ගොඩනැගිලිවල බිම් මහලවල්, උමං මාර්ග සහ භූගත ක්‍රියාකාරකම් නිසා පිටවන රස්නය පොළව අභ්‍යන්තරයට කාන්දු වීම සිදු වෙනවා. Northwestern University පර්යේෂකයින් සොයාගෙන ඇත්තේ මෙම තාපය නිසා පස් තට්ටු ප්‍රසාරණය වී හෝ හැකිලී, ගොඩනැගිලිවල අත්තිවාරම් වලට හානි සිදුවී ගොඩනැගිලි ගිලා බැසීමේ අවදානමක් ඇති බවයි.

අධික ගොඩනැගිලි ඝනත්වයක් ඇති කොළඹ වැනි නගරයක, අප නොදකින මෙම Silent Hazard ගැන අවධානය යොමු කිරීමට කාලය එළඹ ඇත.

ශ්‍රී ලංකාවේ ඊළඟ පියවර කුමක් විය යුතුද?

අප තව දුරටත් පැරණි නගර සැලසුම් ක්‍රමවල එල්ලී සිටියහොත්, අනාගතය ඉතා අපහසු දායක වන බව නම් නො අනුමානය. ඉතාම ඉක්මනින් අපි මේ වෙත ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් සඳහන් කරනවා. 

  1. අළු පැහැය හරිත පැහැයට හැරවීම (Grey to Green): නගරයේ ඉඩ ඇති සෑම තැනකම, අතහැර දමා ඇති කුඩා කොන්ක්‍රීට් බිම් කැබලි පවා Micro-Forests හෝ Green Pockets බවට පත් කිරීම.
  2. වහලවල් සහ පාරවල් වල වර්ණ වෙනස: අලුතින් ඉදි කරන ගොඩනැගිලි සහ වහලවල් සඳහා තාපය උරා නොගන්නා, හිරු එළිය පරාවර්තනය කරන ලා වර්ණ භාවිතය.
  3. Climate Resilience: නගර සැලසුම් කිරීමේදී සුළං කවුළු (Wind Corridors) අවහිර නොවන ලෙස ගොඩනැගිලි ඉදි කිරීම සහ ජල මූලාශ්‍ර (Blue Infrastructure) ආරක්ෂා කිරීම සහ නිවැරදිව භාවිතා කිරීම.

කොළඹ නගරය තවදුරටත් රස්නය උරාගන්නා කොන්ක්‍රීට් ගොඩක් ලෙස තබා ගන්නවාද, නැතහොත් සිසිල් හරිත නගරයක් බවට පත් කරනවාද යන්න තීරණය ඇත්තේ අප අතේය. සියලු දේ බලධාරීන් සිදු කරන තෙක් බල නොඉඳ අපි හැකි පමණින් මේ කටයුත්තට පෙරමුණ ගත යුතු බව අපේ හැඟීමයි.