ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වී තිබූ පරිගණක තාක්ෂණය සිංහල සහ දෙමළ භාෂාවන්ට හුරු කළ පුරෝගාමියා වන එස්.ටී. නන්දසාර මහතාගේ විප්ලවීය ගමන් මග සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ඉතිහාසය වෙනස් කළ ඒ අසහාය මෙහෙවර පිළිබඳ විමසුමකි.


ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ මුල් කාලීන අඩිතාලම දැමූ විද්වතුන් අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුරන්ස් නන්දසාර මහතා ප්‍රමුඛස්ථානයක් ගනී. කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ (UCSC) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සහ එහි උසස් ඩිජිටල් මාධ්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයේ (ADMTC) සම්බන්ධීකාරකවරයා ලෙස මෑතක් වෙන තෙක් ම කටයුතු කල එතුමා, මෙරට ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීමේදී සහ විශේෂයෙන්ම දේශීය භාෂා පරිගණකගත කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

මූලික අධ්‍යාපනය සහ සරසවි ප්‍රවේශය (1975–1979)

Dr. Turrance Nandasara Collaborating with Prof V. K. Samaranayake
මහාචාර්ය වී.කේ. සමරනායක මහතා සහ ආචාර්ය ටියුරන්ස් නන්දසාර මහතා - turrancenandasara.blogspot.com

1975 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වූ නන්දසාර මහතා, එකල විද්‍යා පීඨයේ ගණිත අංශය මගින් කලා අංශයේ සිසුන් සඳහාම නිර්මාණය කර තිබූ "සංඛ්‍යානය" (Statistics) පිළිබඳ විශේෂ උපාධි පාඨමාලාව හැදෑරීමට තෝරා ගන්නා ලදී. මෙම පාඨමාලාවේ මූලික අරමුණ වූයේ උපාධිධාරීන්ව තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ රැකියා සඳහා සෘජුවම සූදානම් කිරීමයි.

ඔහුගේ පළමු වසරේ සංඛ්‍යානය සහ පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ ගුරුවරයා වූයේ මෙරට පරිගණක ක්ෂේත්‍රයේ පියා ලෙස සැලකෙන මහාචාර්ය වී.කේ. සමරනායක මහතායි. මහාචාර්යවරයාගේ ඉගැන්වීම් ක්‍රමවේදය වූයේ හුදෙක් පන්ති කාමරයට සීමා නොවී, ක්ෂේත්‍රයේ දත්ත රැස්කරමින් සැබෑ ලෝකයේ සංඛ්‍යානමය විශ්ලේෂණ සිදුකිරීමට සිසුන් යොමු කිරීමයි.

නන්දසාර මහතා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට එහි සිසුන් සඳහා පරිගණක පහසුකම් නොතිබුණි. එකල ගණිත අංශයේ තිබූ කුඩා Punch card machine භාවිතයෙන් සිසුන් දත්ත සහ ක්‍රමලේඛ පියවරෙන් පියවර කාඩ්පත්වලට ඇතුළත් කළ යුතු විය. ඉන්පසු මෙම කාඩ්පත් Decks සකසා, ඒවා ක්‍රියාත්මක කරවීම සඳහා ජනසංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තිබූ IBM Mainframe පරිගණකය වෙත භෞතිකව රැගෙන යාමට සිදු විය.

1978 වසරේදී විශ්වවිද්‍යාලයට HP 9825 වර්ගයේ පරිගණකයක් ලැබීමත් සමඟ තාක්ෂණික පහසුකම්වල නව පිටුවක් පෙරළිණි. Fortran IV Compiler එකක් සහිත මෙම පරිගණකය හරහා නන්දසාර මහතාට තමන්ගේ කේත සෘජුවම ටයිප් කිරීමටත්, එහි තිබූ කුඩා Thermal printer මගින් ඒවා මුද්‍රණය කරගැනීමටත් අවස්ථාව ලැබුණි. 

මෙම පරිගණකයේ Display එක් පේළියකට පමණක් සීමා වී තිබුණ ද, ආචාර්ය කෙවින් සෙනෙවිරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නන්දසාර මහතා එය ප්‍රගුණ කළේය. 1979 දී සිය උපාධිය සම්පූර්ණ කරන විට, ඔහු දීපව්‍යාප්ත නිවාස සමීක්ෂණයක් සඳහා විශාල දත්ත ප්‍රමාණයක් මෙම පරිගණකය භාවිතයෙන් විශ්ලේෂණය කළේය.

වෘත්තීය ජීවිතයේ ආරම්භය සහ වෛද්‍ය ව්‍යාපෘතිය (1979–1981)

උපාධිය ලැබීමෙන් පසු, මහාචාර්ය සමරනායක මහතාගේ මගපෙන්වීම මත නන්දසාර මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) Choice of Medicine in Sri Lanka project එකට සම්බන්ධ විය. කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය එන්.ඩී.ඩබ්ලිව්. ලයනල් මහතා යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ, කොළඹ මහ රෝහලේ රෝගීන්ට නිකුත් කළ දහස් ගණනක් වූ බෙහෙත් වට්ටෝරු විශ්ලේෂණය කර රටට අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයන් නිවැරදිව තීරණය කිරීමයි.

1981 දී බ්‍රිතාන්‍ය රජයේ ත්‍යාගයක් (කොළඹ ක්‍රමය යටතේ) ලෙස Data General NOVA/4 වර්ගයේ Minicomputer විශ්වවිද්‍යාලයට ලැබුණි. ටර්මිනල 16 කින් සමන්විත වූ මෙම පරිගණකය COBOL, FORTRAN සහ RPG II වැනි භාෂා පහසුකම්වලින් යුක්ත වූ අතර, එහි ප්‍රධාන පරිපාලකයා සහ පරිශීලකයා ලෙස කටයුතු කළේ නන්දසාර මහතායි.

පසුව ඔහු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහකරුවෙකු ලෙසත්, ඉන් අනතුරුව සංඛ්‍යාන නිලධාරියෙකු ලෙසත් ස්ථිර සේවයට එක්විය. ඔහු කලා පීඨයේ සිසුන්ට සංඛ්‍යානය සහ පරිගණක ක්‍රමලේඛනය ඉගැන්වූ අතර, එකල බහුමාධ්‍ය ප්‍රොජෙක්ටර නොතිබූ බැවින් Transparencies සහ Overhead Projectors භාවිතයෙන් දේශන පැවැත්වූ බව සඳහන් වේ.

Overhead projector in operation, with a transparency being flashed
Overhead Projector එකක් - By mailer_diablo

1982 මැතිවරණ විප්ලවය

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මැතිවරණ ප්‍රතිඵල පරිගණක ආධාරයෙන් සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමේ අභියෝගය 1982 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයේදී කොළඹ විශ්වවිද්‍යාලය විසින් භාර ගන්නා ලදී.

 Dr Roger Stern of the University of Reading (r) and Buddy Liyanage of the University of Colombo developing the election software on the BBC Micro computer.
රීඩින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොජර් ස්ටර්න් (දකුණේ) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ බඩී ලියනගේ, බීබීසී මයික්‍රෝ පරිගණකය භාවිත කරමින් මැතිවරණ මෘදුකාංගය නිර්මාණය කරන අවස්තාවක් - ict-history.lkict-history.lk

මේ සඳහා එක්සත් රාජධානියේ රෙඩින් (Reading) විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොජර් ස්ටර්න් විසින් රැගෙන ආ BBC Micro පරිගණකයක් භාවිතා කරන ලදී. එය 32KB මතකයකින් සහ වර්ණ ග්‍රැෆික්ස් හැකියාවෙන් යුක්ත වූ නමුත් දෘඪ තැටියක් (Hard disk) නොතිබුණි. ප්‍රතිඵල විකාශනය කිරීමේදී රූපවාහිනී තිර මත ප්‍රතිඵල දර්ශනය වන ආකාරය (Screen designs/UI) සැලසුම් කිරීම සහ ඊට අදාළ ක්‍රමලේඛනය කිරීමේ ප්‍රධාන වගකීම නන්දසාර මහතා සහ ගණිත අංශයේ කාර්ය මණ්ඩලය විසින් ඉටු කරන ලදී.

මෙය සාමාන්‍ය ජනතාව පරිගණකයේ හැකියාවන් ප්‍රායෝගිකව දැකගත් පළමු අවස්ථාව වූ අතර, ඉන්පසු 1982 ජනමත විචාරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ද ඔහු දායක විය.

විදේශීය දැනුම සහ මව්බිමට සේවය කිරීම (1983–1986)

1983 ජූලි මාසයේදී Data General සමාගමේ පද්ධති ඉංජිනේරුවරයෙකු ලෙස ලැබුණු ඇමරිකානු රැකියා ඇරයුම, නන්දසාර මහතාගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. එකල ශ්‍රී ලංකාවේ පැවති සීමිත තාක්ෂණික වටපිටාවට සාපේක්ෂව, ඇමරිකාව ඔහුට පිරිනැමුවේ අසීමිත සම්පත්, ඉහළ පර්යේෂණ පහසුකම් සහ ආකර්ෂණීය ජීවන රටාවකි.

එහෙත් මහාචාර්ය වී.කේ. සමරනායක මහතා ඔහුට උපදෙස් දුන්නේ රට හැර නොගොස්, අලුතින් ගොඩනැගෙන මෙරට පරිගණක ක්ෂේත්‍රයට දායක වන ලෙසයි.

Mr. S.T. Nandasara programming in 'C' language on a vintage PDP-11 terminal in the University of Essex computer lab in 1984. This terminal is part of an early minicomputer system.
එස්.ටී. නන්දසාර මහතා, 1984 දී එසෙක්ස් විශ්වවිද්‍යාලයේ (University of Essex) රසායනාගාරයේ පිහිටි පැරණි PDP-11 පර්යන්තයක් මත ‘C’ ක්‍රමලේඛන කේතකරණයේ යෙදී සිටියි. - Turrance Nandasara

සුඛෝපභෝගී විදේශීය දිවිය ප්‍රතික්ෂේප කරමින් ඔහු තෝරාගත්තේ අවිනිශ්චිත වූ දේශීය අභියෝගයයි. එදා ඔහු ගත් ඒ අසීරු තීරණය, අනාගතයේදී සිංහල සහ දෙමළ භාෂාවන්ට ඩිජිටල් ලෝකයේ දොරටු විවර කර දෙන යතුර බවට පත්වනු ඇතැයි එකල ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

මෙම කැපවීමට ප්‍රතිචාරයක් ලෙස ඔහුට විදේශීය පුහුණුව ලබාදීමට විශ්වවිද්‍යාලය කටයුතු කළේය. ඒ අනුව 1983 සිට 1986 දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ Reading සහ Essex යන විශ්වවිද්‍යාලවල සංඛ්‍යානය, පරිගණක යෙදුම් සහ පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව ඔහු ලැබුවේය. මීට අමතරව බ්‍රිතාන්‍ය රජයේ තාක්ෂණික සහයෝගීතා වැඩසටහන් යටතේ ද ඔහු විශේෂ පුහුණුවක් ලැබීය.

දේශීය භාෂා පරිගණනයේ පෙරළිය (1989–1996)

The screen displaying the modified BIOS (S-BIOS) system, allowing the computer's Command Prompt interface to accept and process commands typed in the Sinhala language. This innovation also included T-BIOS for Tamil language support.
පරිගණක පද්ධතියේ මූලික මෙහෙයුම් පාලනය කරන BIOS පද්ධතිය වෙනස් කරමින්, සිංහල (S-BIOS) සහ දෙමළ (T-BIOS) සඳහා දේශීය භාෂා සහාය ලබා දීම - Turrance Nandasara

නන්දසාර මහතාගේ විශිෂ්ටතම සේවාව වන්නේ ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වී තිබූ පරිගණක තාක්ෂණය සිංහල සහ දෙමළ භාෂාවන්ට හුරු කිරීමයි.

1. VGA කාඩ්පත ප්‍රතික්‍රමලේඛනය (1989):

1989 දී පමණ මෙරට භාවිතා වූ IBM PC XT පරිගණකවල සිංහල අක්ෂරවල ඇති Curvatures නිවැරදිව පෙන්වීමට තරම් තිර විභේදනයක් (Resolution) නොතිබුණි. තායිලන්තයේ තම්මසත් විශ්වවිද්‍යාලයේ ආචාර්ය තවිසක් කොනන්තකූල් මහතා තායි භාෂාව පරිගණකයට එක් කිරීමට ගත් උත්සාහය අධ්‍යයනය කළ නන්දසාර මහතා, එකල අලුතින් පැමිණි VGA කාඩ්පත Reprogramming කිරීමට සමත් විය.

එමගින් දෘඩාංග මට්ටමෙන්ම සිංහල සහ දෙමළ අක්ෂර ඉතා පැහැදිලිව පරිගණක තිරයේ දර්ශනය කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කෙරුණි.

2. BIOS වෙනස් කිරීම සහ යතුරු පුවරු විප්ලවය:

පරිගණකය පණගැන්වෙන මූලික පද්ධතිය වන BIOS ඔහු විසින් වෙනස් කරන ලදී. සිංහල සඳහා S-BIOS සහ දෙමළ සඳහා T-BIOS ලෙස මෙය නම් කෙරුණු අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණකයේ Command Prompt පවා සිංහලෙන් විධාන ටයිප් කිරීමට හැකි විය. එකල යතුරු පුවරුවල 'Alt' යතුර නොතිබූ බැවින්, භාෂා මාරු කිරීම සඳහා අද අප භාවිතා කරන Alt + Shift වෙනුවට Ctrl + Shift යතුරු සංකලනය හඳුන්වා දුන්නේ ද නන්දසාර මහතායි.

මෘදුකාංග නිර්මාණය

භාෂා ගැටලුවට තාක්ෂණික විසඳුම් ලබාදීමෙන් නොනැවතුණු ඔහු, ප්‍රායෝගික භාවිතය සඳහා මෘදුකාංග රැසක් නිර්මාණය කළේය:

  • වදන් තරුව (Wadan Tharuwa): C පරිගණක භාෂාවෙන් නිර්මාණය කරන ලද ත්‍රි-භාෂා Word Processor. මෙය බොහෝ ආයතනවල භාවිතයට ගැනුණි.
  • අත්වැල (Athwela): 1994 දී නිර්මාණය කළ මෙම මෘදුකාංගය, එකල මුද්‍රණ කර්මාන්තයේ ප්‍රචලිතව තිබූ Ventura Publisher මෘදුකාංගය සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා සහාය ලබා දුන්නේය. මෙය සංකීර්ණ ලිපි ලේඛන සැකසීමට මග පෑදුවේය.
  • සරසවි (Sarasavi): Windows 95/98 මෙහෙයුම් පද්ධති සඳහා නිර්මාණය කළ මෙම පැකේජය පසුව යුනිකෝඩ් තාක්ෂණයට අනුකූලව "WinMASS Sarasavi" ලෙස වැඩිදියුණු කරන ලදී.

ප්‍රමිතිකරණය සහ ජාත්‍යන්තර දායකත්වය

ශ්‍රී ලංකාවේ භාෂා ඩිජිටල් ලෝකයට ගෙන යාමේදී සම්මත ප්‍රමිතීන් සැකසීමට නන්දසාර මහතා පුරෝගාමී විය.

  • CINTEC සහ SLASCII: ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ක්‍රියාකාරී කමිටු සාමාජිකයෙකු ලෙස, සිංහල අක්ෂර කේතය සඳහා SLS 1134 (SLASCII) ප්‍රමිතිය සැකසීමට ඔහු සක්‍රීයව දායක විය.
  • යුනිකෝඩ් (Unicode) ජයග්‍රහණය : ග්‍රීසියේ ක්‍රීට් (Crete) නුවර පැවති තීරණාත්මක යුනිකෝඩ් සමුළුවේදී, මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා සමඟ එක්ව ශ්‍රී ලංකාව නියෝජනය කළේ නන්දසාර මහතායි. එහිදී මයිකල් එවර්සන් වැනි විද්වතුන් සමඟ ඇතිවූ දැඩි විවාදයකින් පසුව, සිංහල භාෂාව සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාව ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්විය. අද අප අන්තර්ජාලය තුළ සිංහල භාෂාව නිදහසේ භාවිතා කරන්නේ එදා ඔවුන් ලබාගත් එම ජයග්‍රහණය හේතුවෙනි.
  • මයික්‍රොසොෆ්ට් මූලස්ථාන සංචාරය (1998): 1998 මාර්තු මාසයේදී ඇමරිකාවේ රෙඩ්මන්ඩ් (Redmond) හි පිහිටි මයික්‍රොසොෆ්ට් මූලස්ථානය වෙත ගිය ඔහු, Windows NT මෙහෙයුම් පද්ධතිය තුළ සංකීර්ණ සිංහල අක්ෂර (Complex scripts) ක්‍රියාත්මක කිරීම පිළිබඳව මයික්‍රොසොෆ්ට් සංවර්ධන කණ්ඩායම සමඟ සාකච්ඡා කළේය. මෙයට සමගාමීව ලිනක්ස් (Linux) මෙහෙයුම් පද්ධතියේ සිංහල භාවිතය ගැන කටයුතු කළ ජපන් කණ්ඩායමක් සමඟ ද ඔහු සම්බන්ධව සිටියේය.

ආයතනික ගොඩනැගීම සහ ජාතික යටිතල පහසුකම්

A historical group photograph taken at the University Grants Commission (UGC) in 1986, featuring the pioneers who developed the curriculum for Sri Lanka's first computer science course materials. The team includes Late Prof K Tillekeratne, Dr R Zambardino, Prof Stanley Kalpage, Turrance Nandasara, and other contributing members.
1986 දී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී එක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිගණක විද්‍යා පාඨමාලා සකස් කිරීමට දායක වූ පුරෝගාමීන්ගේ එකතුව: වමේ සිට - දිවංගත මහාචාර්ය කේ. තිලකරත්න, ආචාර්ය ආර්. සම්බාඩිනෝ, මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ, එම්. සී. බල්තසාර් මෙනෙවිය, ආචාර්ය ටියුරන්ස් නන්දසාර, එස්. පී. එස්. පී. වික්‍රමසූරිය මෙනෙවිය, ආර්. කේ. එස්. පෙරේරා මහතා සහ එම්. පී. ඒ. විජේසිරි මහතා. -turrancenandasara.blogspot.com

නන්දසාර මහතා ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතන ගොඩනැගීමෙහිලා ප්‍රධානතම කාර්යභාරයක් ඉටු කළේය.

  • ICT ආයතනය සහ ජපාන ආධාර (1986–1990): ජපාන රජයේ (JICA) ආධාර ඇතිව පරිගණක තාක්ෂණ ආයතනයක් පිහිටුවීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරඟකාරීත්වයක් පැවතුනි. 1986 දී ශ්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතිය දිනා ගැනීමට නන්දසාර මහතා ඇතුළු කණ්ඩායම සමත් විය. 1988 සිට 1990 දක්වා පැමිණි ජපන් දූත මණ්ඩල වන Mutual Consultation Survey Team, Technical Guidance Team සහ Project Evaluation Team සමඟ සමීපව කටයුතු කරමින් ඔහු පරිගණක තාක්ෂණ ආයතනය (ICT) පිහිටුවීමට දායක විය.
  • UCSC පිහිටුවීම (2002): කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අංශය සහ පරිගණක තාක්ෂණ ආයතනය ඒකාබද්ධ කර කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) බිහි කිරීමට ඔහු පුරෝගාමී විය.
  • www.lk ද්වාරය: 1996 ජූලි දියත් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ත්‍රි-භාෂා වෙබ් අඩවිය වන www.lk සංවර්ධනය කිරීමට ඔහු දායක විය.
  • කොත්මලේ ප්‍රජා අන්තර්ජාල ගුවන් විදුලිය: ග්‍රාමීය ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් ලබාදීම අරමුණු කරගත් කොත්මලේ අන්තර්ජාල ගුවන් විදුලි ව්‍යාපෘතියේ (www.kirana.lk - වර්තමානයේ මෙය ක්‍රියාත්මක නොවේ) සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේය.
A historical photograph from 30 September 1986. Professor Stanley Kalpage, serving as Chairman of the UGC and Secretary of the Ministry of Education, presents an official Letter of Appreciation to the key pioneer for establishing structured computer science education in Sri Lankan universities.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට විධිමත් පරිගණක විද්‍යා අධ්‍යාපනය හඳුන්වා දීමට උපකාරී වූ පුරෝගාමී කාර්යය අගය කරමින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා විසින් ආචාර්ය ටියුරන්ස් නන්දසාර මහතා වෙත අදාළ ඇගයීම් ලිපිය පිරිනමන අයුරු. - turrancenandasara.blogspot.com

නන්දසාර මහතා දේශීය භාෂා පරිගණනය, බහුමාධ්‍ය සහ තොරතුරු තාක්ෂණ ප්‍රමිති පිළිබඳ පර්යේෂණ පත්‍රිකා විශාල සංඛ්‍යාවක් පළ කර ඇති බව ලේඛනගතව ඇත.

ආසියානු භාෂා සම්පත් ජාලය (Asian Language Resource Network) වැනි ජාත්‍යන්තර ව්‍යාපෘති සඳහා නායකත්වය ලබා දී ඇති අතර, සංස්කෘතික විවිධත්වය සහ තොරතුරු ජාලය (CDIN) වැනි ව්‍යාපෘතිවල කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ 20 වන සංවත්සරයේදී ඔහු "අන්තර්ජාල පුරෝගාමියෙකු" ලෙස ඇගයීමට ලක්විය.

ict-history.lk හි ඇති නන්දසාර මහතාගේ ප්‍රකාශයකින් ලිපිය අවසන් කරන්නට අපි තීරණය කළා

“මෙම තත්වය ළඟා කර ගැනීමට අපි එක් ව වැඩ කළෙමු. අපි දිවා රෑ නො බලා, සමහර දිනවල විද්‍යාගාරයේ ම නිදා ගනිමින් වැඩ කළෙමු. අපි රජයට මෙන් ම ජනතාවටත් වැඩ කළෙමු. අපි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ආදිය පැවැත් වූයෙමු. අද කවුරුත් දකින්නේ අපේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයි”.

මෙතුමා දශක පහකට අධික කාලයක් පුරා Punch cards යුගයේ සිට අති නවීන යුනිකෝඩ් තාක්ෂණය දක්වා ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රය ඔසවා තැබීමට දැක්වූ දායකත්වය අති විශාලය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ict-history.lkවෙබ් අඩවිය සහ turrancenandasara.blogspot.comවෙබ් අඩවිය භාවිතා කළ හැක.