ඔබ නොදැනීම ඔබව තවත් ඇල්ගොරිතමයක් විසින් හසුරවාවී එත් එය අවබෝධ කර ගැනීම පෙරට වඩා ඉතාම දුෂ්කර වන බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ. 


අදට දශකයකට දෙකකට කලින් අපි අලුත් සංගීත, චිත්‍රපට සොයාගත් ආකාරය ඔබට මතකද? එය සම්පූර්ණයෙන්ම අපුරු අත්දැකීමක්. අපි CD හෝ කැසට් අලෙවිසැල් වල රාක්ක අතර ඇවිදලා, පොඩි ගානක් දීල CD rent කරපු කාලය අද තරුණ පරම්පරාවට ඉතාම නුහුරු අත්දැකීමක්.

අලෙවිසැල් වල සේවකයන් විසින් මේක අනිවාර්යයෙන් අහන්න හෝ බලන්න ලෙස නිර්දේශ කළ ඇල්බම මිලදී ගත්තා එහෙම නැතිනම් rent කළා. නැතහොත් මිතුරන්ගෙන්, පාසලේදී, mix CDs හරහා නව ගීත අහන්න පටන් ගත්තා මට තවම මතකයි. ඒ විතරද MTv, සිරස රසරිසි ගී එහෙම අපේ රසවින්දනයේ නිම වළලු පුළුල් කරන්න නොසැහෙන්න  දායක වුණා.

අපි CD හෝ කැසට් අලෙවිසැල් වල රාක්ක අතර ඇවිදලා, පොඩි ගානක් දීල CD rent කරපු කාලය අද තරුණ පරම්පරාවට ඉතාම නුහුරු අත්දැකීමක් - AI Generated

ඒ දවස් වල අපිට නොතේරුනාට සංගීතය පාලනය වුනේ ගුවන්විදුලි මධ්‍යස්ථාන, MTV වැනි ආයතන කිහිපයක් සහ ප්‍රධාන Record Labels කිහිපයක් අතින්, සාමාන්‍ය අයට අලුත් ගීත නිර්මාණ සොයා ගැනීමේ අවස්ථා තරමක් සීමිත වූ බවත් කියන්නම ඕනේ.

කොහොම නමුත් 2000 ගණන් වලදී ඇතිවුණු තාක්ෂණික දියුණුවත් එක්ක ටිකෙන් ටික, algorithmic recommendation engines පැමිණීමත් සමඟ හැමදේම වෙනස් වුණා.

මෙම විප්ලවයේ පළමු පුරෝගාමියා විදිහට Pandora හඳුනවන්න පුළුවන්. ඔවුන්ගේ Music Genome ව්‍යාපෘතිය මගින් ගීතයක ඇති traits වර්ගීකරණය කිරීම ආරම්භ කළා. උදාහරණයක් විදිහට, "ප්‍රධාන ගායකයාගේ ස්ත්‍රී/පුරුෂ භාවය", "ගිටාරයේ ඇති distortion මට්ටම" වැනි දත්ත ඇතුළත් කර, එම ගුණාංග වලට සමාන වෙනත් ගීත ඔබට ඇසීමට සලස්වන ක්‍රමවේදයක් ඔවුන් භාවිත කළා.

මෙම ක්‍රමය අලුත් වුවත්, Pandora සතුව තිබුණේ සීමිත ගීත එකතුවකි. 2011 දී ඔවුන් IPO සඳහා ගොනු කරන විට, ඔවුන් සතුව තිබුණේ ගීත 800,000 ක එකතුවක් විතරයි.

නමුත් එම වසරේදීම, Spotify ඇමරිකාවට පැමිණියේ ගීත මිලියන 15ක දැවැන්ත පුස්තකාලයක් එක්ක. Spotify ආරම්භයේ සිටම algorithms මත දැඩි ලෙස යැපුණු සේවාවක් ලෙස හන්ද්වීම වරදක් නැහැ. 2015 දී, ඔවුන්ගේ වඩාත්ම ප්‍රසිද්ධ අංගය වන Discover Weekly playlist එක හඳුන්වා දෙන්න ඔවුන් කටයුතු කළා.

Discover Weekly යනු Pandora වලට වඩා බෙහෙවින් සංකීර්ණ පද්ධතියක්. එය ඔබ සහ අනෙකුත් පරිශීලකයන් නිර්මාණය කළ playlists, ඔබේ taste profile , සහ machine learning තාක්ෂණයන් භාවිතා කර ඔබටම අනන්‍ය වූ ගීත 30ක playlist එකක් සතියක් පාසා නිර්මාණය කිරීම සිදු කළා.

මේ තාක්ෂණික හැකියාවන් සහ බලවත් ඇල්ගොරිතම නිසා Spotify අද ලෝකයේ ජනප්‍රියම සංගීත streaming සේවාව බවට පත් වෙන්නේ නිතරඟයෙන් මයි. නමුත් ඔවුන්ගේ ඉලක්කය ඔබට හොඳම නව සංගීතය සොයා දීමම නෙමෙයි. ඔවුන්ගේ ඉලක්කය ඔබව හැකි තාක් කල් app එක තුළ රඳවා ගැනීමයි.

මේක හොඳින්ම තේරෙන ප්‍රකාශයක් වරක් Spotify හි ප්‍රධාන විධායක නිලධාරී Daniel Ek සඳහන් කළා ඒ ,

"අපගේ එකම තරඟකරුවා නිශ්ශබ්දතාවයයි" ("our only competitor is silence") ලෙසයි.

Spotify හි හිටපු සේවකයෙකුට අනුව, සමාගමේ නායකත්වය තමන් දෙස බැලුවේ සංගීත සමාගමක් ලෙස නොව, මිනිසුන්ගේ time filler ලෙසය. බොහෝ අසන්නන්ට සැබවින්ම සංගීතය ඇසීමට අවශ්‍ය නැති බවත්, ඔවුන්ට අවශ්‍ය, තම දවසේ මොහොතක් සඳහා soundtrack එකක් පමණක් බවත් ඔවුන් විශ්වාස කළා.

මෙහි ප්‍රතිඵලය Spotify ඇල්ගොරිතමය ඔබට අභියෝග කරන, අලුත් දේ අත්හදා බැලීමට සලස්වන ගීත වෙනුවට, ඔබ app එක නැවැත්වීම වැළැක්වීම සඳහා safest songs ගීත නැවත නැවත නිර්දේශ කිරීම සිදු කරනවා.

Discover Weekly playlist
Spotify Discover Weekly playlist එක

තවදුරටත් සංගීතය කලාවක් ලෙස නොව, content එකක් raw product එක ලෙස දැකීමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. Spotify සමාගම වෙත එල්ල වෙන ප්‍රධානම චෝදනාවක් වෙන්නේ  Perfect Fit Content (PFC) නමින් වැඩසටහනක් යටතේ, හිතාමතාම ව්‍යාජ හෝ නිර්නාමික කලාකරුවන් නිර්මාණය කර, ප්‍රසන්න නමුත් කිසිදු හැඟීමක් ඇති නොකරන, පසුබිමින් වැයීම සඳහාම (ignorable) සැකසූ ගීත දහස් ගණනක් පද්ධතියට ඇතුළත් කිරීමයි.

මෙම ඇල්ගොරිතම ක්‍රියාවලිය සංගීතය නිර්මාණය කරන ආකාරය පවා වෙනස් කළා. Streaming සේවා හරහා ලැබෙන data ප්‍රයෝජනයට අරගත්ත Record Labels, ඇල්ගොරිතමයට හසුවන, දැනටමත් ජනප්‍රිය ගීත වලට සමාන ගීත ගයන කලාකරුවන් වඩාත් ප්‍රවර්ධනය කරන්නට පටන් ගත් අතර, මෙය "feedback loop" එකක් නිර්මාණය කළ බවත් ඒ චෝදනා අතර වෙනවා.

කොහොම නමුත් නව කලාකරුවන් මෙම ඇල්ගොරිතම යුගයට ගැලපෙන සේ තම ගීත රචනා කිරීමට පටන් ගත් බව නම් අපට දැන් සක්සුදක් සේ පැහැදිලිව පෙනෙන කරුණක්:

  • ගීත කෙටි විය.
  • ගීත ආරම්භයේ ඇති හැඳින්වීම (Intros) නැති වී ගියේය.
  • අසන්නාගේ අවධානය ක්ෂණිකව ලබා ගැනීමට "hook" (ගීතයේ වඩාත්ම ආකර්ෂණීය කොටස) ගීතයේ මුලටම ගෙන එන ලදී.
  • Guitar solos වැනි සංකීර්ණ වාදන pop සංගීතයෙන් බොහෝ දුරට අතුරුදහන් විය.

මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ සංගීතය flattened එහෙම නැති නම්, එකම රටාවකට සරල වීමයි.

MIDiA නම් වෙළඳපල පර්යේෂණ ආයතනය සිදු කල අධ්‍යයනයකින්, "පරිශීලකයන් ඇල්ගොරිතම මත යැපෙන තරමට, ඔවුන්ට ඇසෙන සංගීත ප්‍රමාණය අඩු වන" බව අනාවරණය කර ගෙන තිබෙනවා.

2010 වසරේ Spotify සේවකයන් අමතන Daniel Ek -

මෙහි ඇති පුදුම සහගතම කරුණ නම්, සාම්ප්‍රදායිකව නව සංගීතය සොයාගෙන යාම තරුණ පරම්පරාවේ ගුණාංගයක් වුණත්, පසුගිය වසර කිහිපය තුළ තමන් ආදරය කරන නව කලාකරුවෙකු සොයා ගැනීමට Gen Z (වයස 16-24) පිරිස, (වයස 25-34) පිරිසට වඩා අඩු ඉඩකඩක් තිබීමයි. Gen Z පරම්පරාව TikTok හි ගීතයක් අසා එයට කැමති වුවද, ඔවුන් එම කලාකරුවාගේ අනෙකුත් ගීත සෙවීමට හෝ ඔහු ගැන වැඩිදුර විමර්ශනය කිරීමට පෙළඹෙන්නේ අඩුවෙන් බවත් මේ අධ්‍යනයෙන් අනාවරණය වුණා.

දැන්, algorithm fatigue ලෙස හඳුන්වන තත්වයක් පවා ගොඩනැගෙමින් පවතින කාලයක් උදාවී අවසන්. මිනිසුන් යන්ත්‍රයක් විසින් තමන්ට ලබා දෙන නිර්දේශ ප්‍රතික්ෂේප කරමින්, නැවතත් human curation හොයන්න පටන් අරගෙන. ඒක ගීත වලට පමණක් නෙමෙයි AI ආශ්‍රිතව සිදුවෙන නිර්මාණ වලට පවා දැන් දැන් බොහෝ දෙනෙක්ගේ අප්‍රසාදය මතුවෙන්න පටන් අරගෙන.

ඇල්ගොරිතම-විරෝධී කැරැල්ල

  1. Apple Music: ඔවුන් Zane Lowe වැනි ප්‍රසිද්ධ DJs යොදා ගනිමින් "මිනිසුන් විසින් තෝරන" playlists කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට පටන් ගත්තා.
  2. Bandcamp: ඔවුන්ගේ "Bandcamp Daily" සහ "Bandcamp Clubs" වැනි සේවා හරහා, මාසිකව මිනිස්සුන් විසින් තෝරාගත් ඇල්බම සහ කලාකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා ලබා දීම.
  3. College Radio: පුදුම සහගත ලෙස, Gen Z පරම්පරාව අතර college radio සඳහා නව පුනර්ජීවනයක් ඇති වී තිබෙන බවත් වාර්තා සඳහන් කරනවා. 
  4. Vinyl සහ iPods: Vinyl තැටි අලෙවිය නැවතත් ඉහළ යාම සහ පැරණි iPods සඳහා eBay හි ඉහළ ඉල්ලුමක් විශේෂයෙන් modding culture ඔස්සේ ඇතිවීම ද මෙම ප්‍රවණතාවයේ කොටසක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්.

මෙම ඇල්ගොරිතම-විරෝධී කැරැල්ල ආකාර කිහිපයකින් වර්තමාන සමාජයේ දැකගන්න පුළුවන්. සමහර සමාගම් පවා මේ රැල්ලෙන් ප්‍රයෝජන ගනිමින් තම සේවාවන් ප්‍රවර්ධනයට කටයුතු කරමින් යනවා. 

කොහොම නමුත් මම මුලින් සඳහන් කළා සේම Anti-algorithm යන්න දැන් එයම එක්තරා trend එකක් බවට පත්ව අවසන්. ඇල්ගොරිතම මත ඉතා දැඩිව යැපුණු Spotify පවා දැන් human curation අංගයන් තම සේවාවට එක් කරමින් ඉන්නවා.

ඉතා සීග්‍රයෙන් සිදු වෙන තාක්ෂණයේ දියුණුව එක්ක ඉතාම නුදුරු  අනාගතයේදී සමාගම් මෙම algorithm fatigue තත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම සිදුවීම වලක්වන්නට නම් බැහැ.  ඔවුන් ඔබට illusion of serendipitous discovery නිර්මාණය කරාවි.

සරලවම කිව්වොත් ඇල්ගොරිතමයක් මගින්ම ජනනය කළ නිර්දේශ, ඔබට ස්වභාවිකව හෝ අහම්බෙන් හමු වූ දෙයක් ලෙස suggest කිරීමයි. උදාහරණ විදිහට TikTok හි "For You" පිටුව, Netflix හි "Play Something" බොත්තම හඳුන්වන්න පුළුවන්.