මැතකදී බොහෝ දෙන මාවෙත යොමු කරපු ගැටලුවක් තමා YouTube channel එක වෙනත් පාර්ශවයකට අයිති කරගන්න බැරි වෙන්න, එහෙමත් නැත්නම් සරලව කිව්වොත් අපේ YouTube channel එක ආරක්ෂා කරගන්න අපිට මොනවාද කරන්න පුලුවන් කියන ප්‍රශ්නය.

මෙම ලිපියේ අන්තර්ගත වන කරුණු බොහෝමයක් අනෙකුත් social media platform භාවිතයේදී ද වැදගත් වන නමුත් YouTube channel එක ආරක්ෂා කරගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ලැබෙනවා. (ඉදිරියේදී වෙන වෙනම අනෙකුත් social media platforms භාවිතා කිරීමේදී ආරක්ෂා වීම සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේද ගැන ලිපියක් ගෙන ඒමට ද මා සූදානමින් සිටිනවා.)

ශක්තිමත් password එකක් භාවිතා කිරීම

ඔබ ඔබගේ YouTube නාලිකාව ආරක්ෂා කරගැනීමට ගතයුතු පළමු පියවර වන්නේ ශක්තිමත් password එකක් යෙදීම වන අතර password එකක් භාවිතා කිරීමේදී එය characters 8කට වඩා වැඩියෙන් ඇති, capital letters, simple letters, numbers සහ symbols වලින් සමන්විත password එකක් භාවිතා කිරීම ඉතාමත් සුදුසු වෙනවා.

දිගින් වැඩි මෙන්ම වඩා සංකීර්ණ password එකක් භාවිතා කිරීම මගින් ඔබගේ ගිණුමේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න පුළුවන්.

ඒ වගේම password එකක් නිර්මාණය කරගන්නා විට ඔයාගේ උපන් දිනය, නම වගේ පහසුවෙන් අනුමාන කරන්න පුලුවන් දේවල් යොදාගැනිමෙන් වැලකී සිටිය යුතු වන අතර, වෙනත් අයෙකුට අනුමාන කළ නොහැකි passwords භාවිතා කිරීමට කටයුතු කළ යුතු වෙනවා.

එමෙන්ම කිසිවිටකත් එකම password එක ගිණුම් දෙකකට භාවිතා නොකිරීමට ඔබ විසින් වගබලාගත යුතු වෙනවා.

ඉතා පහසුවෙන් අනුමාන කළ හැකි (qwer@123, asd.123, iloveyou වැනි) password භාවිතා කිරීමෙන් වැලකී සිටීම, Password එක නිර්මාණය කිරීමේදී වැඩි වශයෙන් අංක සහ සංකේත භාවිතා කිරීම, දිගින් වැඩි password එකක් භාවිතා කිරීම යන දේවල් අනුගමනය කිරීමෙන් විශේෂයෙන්ම dictionary-attack යනුවෙන් හඳුන්වන ක්‍රමවේදය හරහා ඔබගේ ගිණුමෙහි password එක සොයාගැනීම අපහසු වෙනවා.

ඔබගේ password manage කර ගැනිම සඳහා ඔබට අන්තර්ජාලයේ පවතින password manager සේවාවක් භාවිතා කල හැකි අතර ඒ පිළිබඳව අප විසින් ඔබව මිට පෙර දැනුවත් කරනු ලැබුවා.

2020 වර්ෂයේ හොඳම password manager සේවාවන් කිහිපයක් ගැන දැනගනිමු
ඔබ නිතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන අයෙකුනම් මේ වන වි‍ටත් ඔබ අන්තර්ජාලයහරහා භාවිතා කරන විවිධ සේවාවන් සඳහා account සාදාගෙන ඇති. සමහර විට ඔබට මේ වෙද්දිඔබ යොදා ඇති password මතක තබා ගැනීම තරමක් අපහසු කාර්යයක් වෙන්න පුළුවන්. මේ ගැටළුව මගහරවා ගැනීම සඳහා අපට password manager සේවාවන් භාවිතා කිරී…
Google account එක සඳහා අනිවාර්යෙන් Two-Factor Authentication පහසුකම සක්‍රිය කරන්න

ඔබගේ YouTube නාලිකාව ආරක්ෂා කිරීමට ශක්තිමත් password එකක් පමණක් යෙදීම ප්‍රමාණවත් නොවෙන අතර යම් හෙයකින් ඔබගේ මුරපද breach වීමකට ලක් වුවහොත් ඔබගේ accounts එමගින් ආරක්ෂා කරගැනීමට ඔබට මෙම Two-Factor Authentication පහසුකම මගින් හැකියාව ලැබෙනවා.

ඔබ Two-Factor Authentication පහසුකම සක්‍රීය කළ පසු password එක පමණක් ලබාදීමෙන් ඔබට ඔබගේ Google account එකට login වීමට හැකියාව ලැබෙන්නේ නැහැ. Login වීම සඳහා ඔබට එම මොහොතේ ලැබෙන තාවකාලික code එකද ඇතුලත් කිරීමට සිදුවෙනවා.

තමන් භාවිතා කරන පරිගණකය පිළිබඳ සැලකිලිමත් වීම

මා විසින් නිර්දේශ කරුණුයේ කිසිම මොහොතක ඔබ ඔබගේ පෞද්ගලික පරිගණකයකින් හැර ඔබගේ Gmail ගිණුමට log නොවන ලෙසයි. එය එසේ කීමට හේතු කිහිපයක්ම තිබෙනවා.

යම් කිසි මොහොතක ඔබ ඔබගේ මිතුරෙකුගේ හෝ Public computer එකක් භාවිතා කල විට එහි ඔබගේ password වැනි සංවේදී දත්ත save වීමට වැඩි ඉ‍ඩකඩක් පවතින අතර ඔබ ඔබගේ ගිණුමෙන් sign out වුවත් පසුව වෙනත් පුද්ගලයෙකුට ඔබගේ password එක බැලීමට හැකියාවක් තිබෙනවා.

Chrome, Firefox හෝ අනෙකුත් ඕනෑම Web Browser එකක save කර ඇති passwords, Hacking පිළිබඳව කිසිඳු අවබෝධයක් නොමැති සාමාන්‍යය පුද්ගලයෙකුට පවා බලාගතහැකි බව මතක තබාගන්න.
ඇතැම් අවස්ථා වලදී internet cafe වැනි ස්ථාන වල keyloggers හෝ spyware වැනි වැඩසටහන් එම ස්ථාන වල හිමිකරුවන් විසින්ම ස්ථාපනය කර තිබීමේ හැකියාවක් තිබෙනවා.

එමෙන්ම ඔබ භාවිතා කරන පරිගණකය සඳහා කිසිඳු ආකාරයක cracked applications පාවිච්චි නොකර ලෙසද මා විසින් නිර්දේශ කරනු ලබනවා. crack කරන ලද applications භාවිතයේදී, සමහර අවස්ථාවල ඔබගේ පරිගණකයට විවිධ වූ වෛරස පැමිණිමෙන් ඔබගේ web browser එක ඇතුළු අනෙකුත් කටයුතු වෙනත් පුද්ගලයෙකු හට පාලනය කිරීමට හැකියාව පවතිනවා.

එමගින් ‍ඔවුන් හට ඔබ මෙන් පෙනී සිට ඔබගේ YouTube නාලිකාව පහසුවෙන්ම hijack කිරීමට අවස්ථාව ලැබෙන අතර මැතකදී මෙවැනි සිද්ධි කිහිපයක්ම මා වෙත වාර්ථා වුණා.

විශේෂයෙන්ම crack කරන ලද application වලින් keyloggers, browser cookies සොරකම් කරන වැඩසටහන්  වැනි වෙනත් spyware වැනි අනතුරුදායක වැඩසටහන් පරිගණකයට පැමිණිය හැකි අතර ඒ හරහා password වලින් පමණක් නොනැවතී ඔබගේ credit හෝ debit card details දක්වා හැකර්වරුන්ගේ ග්‍රහණයට පත් විය හැකි බව මතක තබාගන්න.

එමෙන්ම ඔබගේ පරිගණකය සඳහා user accounts දෙකක් සාදා එහි admin account එක password එකක් යොදා තබන ලෙසත් ඔබ සාමන්‍ය භාවිතයේදී admin account එකෙන් log නොවී පරිගණකයේ ඇති අනෙක් ගිණුමෙන් log වී පරිශීලනය කිරීමට නුවණට හුරු කටයුත්තක් වෙනවා.

මීට ප්‍රධානතම හේතුව වන්නේ යම්කිසි අවස්ථාවකදී ඔබ විසින් install කරන හෝ භාවිතා කරන application වල ඉහත සඳහන් කළ ආකාරයේ අනතුරුදායක වැඩසටහනක් අන්තර්ගත වන්නේ නම්, එම වැඩසටහනට පරිගණකයේ admin privileges ලබාගැනීමේ හැකියාව අවහිර කිරීමට මේ හරහා හැකියාව ලැබීමයි.

මෙවැනි standard ගිණුමක් භාවිතා කිරීමේදී background එකෙන් යම්කිසි application එකක් install වීමට හෝ ක්‍රියාත්මක වීමට තැත් කරන්නේ නම්, බොහෝ ‍විට ඒ පිළිබඳව පරිශීලකයාගේ අවසරය ලබාගැනීම සඳහා prompt කිරීමක් සිදු කරනු ලබනවා.

එමෙන්ම පරිගණකයට මුදල් ගෙවා ලබාගත් premium virus guard එකක් භාවිතා කරන ලෙසත් එය මෙන්ම ඔබගේ පරිගණකය නිරන්තරයෙන් Software & OS එක update කර තැබිමත් වැදගත් වෙනවා.

URL පරික්ෂා කර වෙබ් අඩවි වෙත පිවිසීම

ඔබ භාවිතා කරන වෙබ් අඩවි වල URL එක නිවරැදිදැයි පරික්ෂා කිරීම, අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කර ගැනීමෙන් වැළකී සිටීම, හැකි සෑම විටකම accounts වල recovery option වැනි අනෙකුත් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර තැබීම මගින් ඔබට පහසුවෙන්ම ඔබගේ accounts ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙනවා.

එහෙන්ම සමහර අවස්ථාවලදී ඔබට විවිධ වූ link click කරන්න යැයි කියා පණිවිඩ/ඊමේල් වැනි දෑ ලැබීමට හැකියාව ඇත. විශේෂයෙන් sponsor කරනවා යැයි පවසමින් ඔබට ඊමේල් ලැබීමේ හැකියාව පවතිනවා. එවැනි අවස්ථාවල ඔබ විශේෂයෙන් එම link එක click කිරිමට පෙර සැලකිලිමත් විය යුතුය.

Hacking වල ප්‍රාථමික, එහෙත් ඉතාමත් එලදායී ක්‍රමයක් වන Phishing attack හරහා login details, credit card details වැනි දත්ත leak වීම මහා පරිමාණයෙන් සිදු වන අතර, වසර කිහිපයකට පෙර සිදු වූ ප්‍රසිද්ධ නළු නිළියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එකතු වූ iCloud hack එක ද මේ ආකාරයේ attack හරහා සිදු කර තිබෙනවා.

මුලින්ම ඔබට mail එක එවා ඇත්තේ කවුරුන්ද යන්න පරීක්ෂා කරගන්න. වගකිවහැකි ආයතනයක් කිසිවිටක Gmail හෝ වෙනත් free mail සේවාවන් භාවිතා කරන්නේ නැති අතර ඔවුන්ට ඔවුන් සඳහාම විශේෂ වූ custom mail ඇත. උදාහරණයක් වශයෙන් "[email protected]" වැනි custom mail එකකින්ද ඔබට පණිවිඩය ලැබි ඇත්තේ යන්න පරික්ෂා කර බලන්න.

ඇතැම් අවස්ථා වලදී email වල ඇති from email address එක ලෙස පැමිණෙන email address එකට ව්‍යාජ ලෙස වෙනස් කර පැමිණිය හැකි අතර, සැක සහිත අවස්ථා වලදී අදාල email එකේ අනෙකුත් metadata පරීක්ෂා කිරීමට වගබලාගන්න.

දෙවනුව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය සහ එම සමාගම ගැන සොයා බැලිය යුතු අතර ඉන්පසු ඔබට තහවුරු කරගැනිමට පහසු වෙයි මෙය spam mail එකක්ද නැද්ද යන්න පිළිබඳව.

YouTube නාලිකාව Brand account එකක් ලෙස නිර්මාණය කර තිබිම

සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවලදි ඔබ YouTube channel එකක් නිර්මාණය කල විට ඔබ එය නිර්මාණය කරනු ලබන්නේ personal YouTube channel එකක් ලෙස වන අතර ඔබ නාලිකාව නිර්මණය කරන අවස්ථාවේදිම ඔබගේ නාලිකාව Brand account එකක් ලෙස නිර්මාණය කරන ලෙසයි මා විසින් නිර්දේශ කරනු ලබන්නේ.

ඔබ මේ වන විටත් YouTube නාලිකාවක් නිර්මාණය කර ඇත්නම් එය සරල පියවර කිහිපයකින් Brand account එකක් ලෙස move කර ගැනීමට හැකියාව පවතිනවා.

ඔබ ඔබගේ නාලිකාව Brand account එක ලෙස සාදාගැනිමෙන් පසු ඔබට ඔබේ නාලිකාවේ Permission manage කිරීමට හැකියාව ලැබෙන අතර මෙහිදි ඔබට ඔබගේ නාලිකාවට Owner, Manager හා Communications manage යන තනතුරු සඳහා ඔබට අවශ්‍ය පුද්ගලයන්ව පත් කිරීමට හැකියාව ලැබෙන නිසාවෙන් කිසිඳු විටක ඔබගේ නාලිකාව පාලනය කිරීම සඳහා ඔබගේ password වැනි සංවේදි දත්ත ඔබගේ මිතුරන් සමග හුවමාරුකර ගැනීමට අවශ්‍ය වන්නේ නැත.

එමෙන්ම මා විසින් නිර්දේශ කරණු ලබන්නේ ඔබගේ YouTube channel එක නිර්මාණය කර ඇති Gmail ගිණුම වෙනත් කිසිදු දේකට භාවිතා නොකරන ලෙසත් එම mail එක කුමක්දැයි කිසිවෙකුට දැන ගැනීමට ඉඩ නොතබන ලෙසයි.

මා ඉහත සඳහන් කර ඇත්තේ ඔබගේ YouTube channel එක ආරක්ෂා කරගැනීමට ඔබට ගත හැකි ක්‍රමවේද කිහිපයක් වන අතර මීට අමතරව තමත් ක්‍රම රාශියක් පැවතිය හැකිය. . ඉතින් ඔබ දන්නා කරුණු තිබෙන්නේ නම් හෝ මේ ගැන ප්‍රශ්න ඇත්නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්න අමතක කරන්න එපා.