ලෝකයේ සිදුවන පරිසර දූෂණයන් සිදුවෙන ආකාරයන් බෙදා වෙන් කිරීමේදී Plastic මගින් සිදුවන පරිසර දූෂණය කිසිසේත්ම අමතක කළ නොහැකියි.

සමස්ථ ලෝකය පුරාම වසරින් වසර Plastic මගින් සිදුවන පරිසර විනාශය ඉහළ යමින් තිබෙන පසුබිමක ලොව විවිධ රටවල් එය පාලනය කිරීම සඳහා විවිධ විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව දැකගන්නට පුළුවන්.

විවිධ ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන් හමුවේ යම් ප්‍රගතියක් අත්කර ගැනීමට ඇතැම් රටවල් සමත් වී තිබුණ ද ලොවටම හිසරදයක් වී තිබෙන මෙම Plastic සඳහා නියම ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් නිර්මාණය වී තිබුණේ නැහැ.

Plastic මහාමාර්ග පිළිබඳ සංකල්පය ඉදිරිපත් වීම

ස්වභාවික පරිසරයට Plastic එකතු වීම වැළැක්වීම සඳහා ඉදිරිපත් වූ විශිෂ්ටතම සොයාගැනීමක් ලෙස මෙම Plastic මහාමාර්ග පිළිබඳ සංකල්පය පෙන්වා දිය හැකියි.

මෙම අද්විතීය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ඉන්දීය රසායන විද්‍යාඥයෙකු වන Dr.Rajgopalan Vasudewan මහතාට වන අතර "Plastic තවදුරටත් ප්‍රශ්නයක් නොවේ" යන ඔහුගේ ඔහුගේ සංකල්පය අනුව මෙලෙස Plastic මහා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට යොදාගනු ලැබුණා.

මහා මාර්ග කාපට් කිරීම සඳහා භාවිතා කරන මිශ්‍රණයට යම් ප්‍රමාණයකින් Plastic මිශ්‍ර කිරීම ඔහු විසින් සිදු කළ අතර, ඉංදියාවේ හිටපු කීර්තිමත් ජනාධිපතිවරයකු වූ ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ උපදෙස් අනුව, ඔහු සිය පළමු පර්යේෂණ මාර්ගය මදුරෙයි හි ත්‍යාගරාජ් ඉංජිනේරු විද්‍යාලයේ ඉදිකරනු ලැබුවා.

අඩි 60 ක දිගකින් යුත් මෙම Plastic ඇතිරූ පර්යේෂණ මාර්ගය අදටත් නොවෙනස්ව පවතින අතර, 2006 දී ඔහුට මේ වෙනුවෙන් Patent බලපත්‍රය ලැබුණු අතර, මෙම අනර්ඝ සොයා ගැනීම වෙනුවෙන් 2018 වසරේ දී Vasudewan මහතා ඉන්දියාවේ සිවිල් වැසියකුට පිරිනමන ඉහළම ගෞරවය ගෞරව සම්මානය වන "පද්ම ශ්‍රී" සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

ඉන්දියාවේ භාවිතය හා භාවිතා කරන අනෙකුත් රටවල්

2004 වසරේදී ඉන්දියාවේ චෙන්නායි නගරයෙහි 1,000km දුරක් Plastic යෙදූ මාර්ග වලින් නිර්මාණය වී ඇති අතර, අනෙක් ප්‍රධාන නතර වන පූනේ, මුම්බායි, සුරත්, ඉන්දෝර්, දිල්ලි, ලක්නව් ආදී නඟර වල මහා මාර්ග වලට ද මෙම තාක්ෂණය එකතුවීම සිදුවුණා.

2019 වසර වන විට ඉන්දියාව පුරා Plastic යෙදූ මහා මාර්ග 33,700km ක් ඉදි කර තිබෙන අතර එම ප්‍රමාණයන් වසරින් වසර වැඩිවෙමින් පවතින බවද මෙහිදී සඳහන් කළ යුතුයි.

ඉන්දියාවට අමතරව පාකිස්තානය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, බ්‍රිතාන්‍යය හා ඇමරිකාව ආදී රටවල් ද මේ පිලිබදව පර්යේෂණ සිදුකරන අතර නෙදර්ලන්තය වැනි ඇතැම් රටවල් යම් ප්‍රමාණයක මහා මාර්ගයන් පවා මෙම තාක්ෂණය යොදාගනිමින් ඉදිකර තිබෙනවා.

Plastic අපද්‍රව්‍යය, මාර්ග සංවර්ධනය සඳහා යොදාගන්නා විධි

මෙය මේ වන විට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට භාවිතා කරනු ලබන අතර Plastic Roads යන මූලික ක්‍රමයේදී Plastic තාර මිශ්‍රණය සමඟින් මිශ්‍ර කර සාමාන්‍යය තාර අතුරන ආකාරයට භාවිතා කරනු ලබන අතර මෙය ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව වැනි රටවල් වල භාවිතා කරනු ලබන ක්‍රමයයි.

අනෙක් ක්‍රමය වන්නේ PlasticRoad නමැති වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කරනු ලබන Plastic භාවිතා කරමින් නිර්මාණය කෙරුණු කොටස් භාවිතා කරමින් මාර්ගය ආවරණය කිරීමයි. මෙම ක්‍රමය මහා මාර්ග ඉදි කිරීමට වඩා ඇවිද යාමට සහ bicycle පැද යෑම සඳහා භාවිතා කරන කුඩා මාර්ග ඉදිකිරීමේදී භාවිතා කරනු ලබන අතර නෙදර්ලන්තය වැනි රටවල් වල භාවිතා කර ඇත්තේ මෙම ක්‍රමයයි.

Plastic යෙදූ මාර්ග වල වාසි

  1. පරිසරයට එකතු වන Plastic අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය ට අවස්ථාව ලැබීම
  2. පරිසරයට එකතු වන ප්ලාස්ටික් ගිනි තැබීමට සිදුවීම නිසා වායුගෝලයට එකතු වෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවීම
  3. Plastic යොදා ගැනීම නිසා කාපට් මිශ්‍රණයට වැයවන පිරිවැය හා සම්පත් ඉතිරිවීම
  4. මාර්ග මතුපිට සුමට වීම, වාහන ගමන් කරන විට පාරෙන් නැඟෙන ශබ්ධය අඩුවීම හා නඩත්තු වියදම් අඩුවීම
  5. Plastic විවිධ රසායනික හා භෞතික ගුණාංග වලින් සමන්විත බැවින්, විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා මාර්ග සැලසුම් කළ හැකි වීම. උදාහරණයක් ලෙස, ගංවතුර නිතර ඇතිවන ප්‍රදේශ වලට ඊටම ඔරොත්තු දෙන ගුණාංග වලින් යුතුව මාර්ගය ඉදිකිරීමට හැකි වීම,

ආදිය පෙන්වා දිය හැකියි.

Plastic යෙදූ මාර්ග වල ඇති අවාසි

  1. මිශ්‍රණයට යොදා ගන්නා Plastic, ක්ශුද්‍ර Plastic බවට පත්වීමට හැකියාව තිබෙන නිසා ඒවා පසට එකතු වීමේ අවදානමක් තිබීම
  2. විදුලිය, ජලය, අන්තර්ජාලය වැනි දේවල් සඳහා සිදු කරන Cable එළීම් වලදී, මාර්ගය කඩා නැවත ප්‍රතිසංස්කරණයේ දී අපහසුතාවයන් ඇතිවීම,

ආදිය පෙන්වාදිය හැකි වෙනවා.

මෙම තාක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද?

අන්තර්ජාලයේ තිබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුළ ද Plastic යෙදූ මහාමාර්ග පිළිබඳ කතිකාවත මේ වන විට ආරම්භ වී තිබෙන අතර, නවතම වාර්තා අනුව අපිරිසිදු පොලිතීන් තාර බවට පරිවර්තනය කරමින්, මාර්ග ඉදිකිරීම පිළිබඳව අප රටේ අවධානය යොමුවී තිබෙනවා.

අපිරිසිදු පොලිතීන් යෙදු තාර මිශ්‍රණයක් භාවිතා කරමින් රත්මලාන බොරුපන පාරේ 300m ක පමණ දුරක් මේ වන විටත් ඉදිකර තිබෙන බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා පවසනවා.

එමෙන්ම මෙම තාක්ෂණය ඔස්සේ ඉදිරියේ දී මීගොඩ, ජා-ඇළ හා බොරුපන යන ප්‍රදේශවල මාර්ග ඉදිකිරීමට යෝජිත වී තිබෙන බවද දැනගන්නට ලැබෙනවා.

කොහොම වුණත් සමස්ථයක් ලෙස ගත්කළ Plastic හෝ Polyethene යෙදූ මාර්ග පිළිබඳ ශ්‍රී ලංකාව තුල තවමත් දක්නට ඇත්තේ අඩු අවධානයක් බවද මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.


මේ Plastic මහා මාර්ග ඉදි කිරීම සඳහා භාවිතා කිරීම පිළිබඳව මීටත් වඩා විස්තර ඔයත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්න අමතක කරන්න එපා.