කෘත්‍රිම බුද්ධියෙන් බලයෙන් සවිබල ගැන්වුණු අනාගතයක් කරා ලංකාව ගෙන යාමේ අරමුණින් සංවිධානය කෙරෙන,ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සමුළුව National AI Expo & Conference 2025


ශ්‍රී ලංකාව කෘත්‍රිම බුද්ධිය (AI) බලයෙන් සවිබල ගැන්වුණු අනාගතයක් කරා ගෙන යාමේ අරමුණින් සංවිධානය කෙරෙන, මෙරට ප්‍රථම ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සමුළුව (National AI Expo & Conference) පිළිබඳව දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුව 12 වෙනිදා ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හී දී පැවැත්වුණා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සහ සමුළුව,2025 සැප්තැම්බර් 29 සහ 30 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. මෙම කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සමුළුව වෙත SLASSCOM (Ecosystem Partner), Huawei (Technology Partner) සහ FITIS (Industry Partner) ඇතුළු පාර්ශව ගණනාවකගේ දායකත්වයන් හිමි වෙනවා. 

AI Expo කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සමුළුව වෙත Huawei හි මැදපෙරදිග ප්‍රධානී Li Shi සහ Meta (ෆේස්බුක්) හි ඉන්දියාව සහ අග්නිදිග ආසියාවේ උප සභාපති සහ ප්‍රධානී Sandya Devanathan වැනි ගෝලීය තාක්ෂණික සමාගම්වල ඉහළ පෙළේ ප්‍රධානීන් 25කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතයි. ඔවුන්ගේ පැමිණීම හා ඔවුන් බෙදාහදා ගන්න දැනුම සමගින් ශ්‍රී ලාංකීය ව්‍යාපාරවලට ලෝක මට්ටමේ AI තාක්ෂණයන් වෙත සෘජු ප්‍රවේශයක් ලබා ගැනීමට මුලික අඩිතාලම වැටෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

AI Expo ප්‍රදර්ශනය සහ සමුළුව පිලිබඳ සහ ඔබට ඒ වෙත සම්බන්ද වෙන්නේ කෙසේද යන්න ගැන වැඩි විස්තර www.aiexpo.lk යන සමුළුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. 

The official website for Sri Lanka's first-ever National AI Expo & Conference is now live.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සමුළුවේ (National AI Expo & Conference) නිල වෙබ් අඩවිය දියත් කිරීම.

AI තාක්ෂණයන් ක්‍රියාත්මක කිරීමේදී දත්ත ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳව ඇතිවන ගැටළු, පවතින ඩිජිටල් බෙදීම (digital divide) තවදුරටත් පුළුල් වීමේ අවදානම, සහ සාමාන්‍ය ජනතාවට හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙහි සැබෑ ප්‍රතිලාභ ලැබේද යන්න පිළිබඳව සගච්චාවට ලක්වීමට නියමිත කාරනා අතර තිබෙන බව අපට දැනගන්නට ලැබුණා. තවද, භාෂා සැකසීම, සංස්කෘතික අනුවර්තනය, සහ පරම්පරා අතර AI සාක්ෂරතාවයේ පරතරය පියවීම වැනි දේශීයකරණයේ අභියෝග සඳහාද විශේෂ අවධානයක් මේ ඔස්සේ යොමු කෙරෙනු ඇතියි.

AI Expo & Conference 2025 හීදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ ලංකාවේ සවිස්තරාත්මක AI මාර්ගෝපදේශයක් (AI roadmap), ජාතික කෘතීම බුද්ධි අරමුදල (National AI Fund) සහ විශිෂ්ටතා කේන්ද්‍රයක් (Centre for AI Excellence) ස්ථාපනය කිරීමේ සැලසුම් ද එළිදැක්වීමට නියමිතය. 

ජාතික AI අරමුදල සඳහා රුපියල් මිලියන 100ක ආරම්භක අරමුදලක් වෙන් කර ඇති අතර, එය දේශීය AI නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා භාවිතා වීමට නියමිතයි. 2030 වන විට ඩිජිටල් ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය වෙනුවෙන්, එයින් 10-12%ක් ප්‍රමාණයක් එනම් අසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5-1.8 ප්‍රමාණයක් AI තාක්ෂණය දායකත්වයක් ලබා ගැනීමට හැකිවේ යැයි ලංකා රජය අපේක්ෂා කරනවා.

2025 නොවැම්බර් සිට 2026 මැයි දක්වා පැවැත්වෙන දෙවන අදියර යටතේ යාපනය, අනුරාධපුරය, මහනුවර සහ මාතර වැනි කොළඹින් දුර බැහැර ප්‍රදේශ වෙතත් වෙත මෙම වැඩසටහන රැගෙන යාම පිළිබඳවත් සැලසුම් ඇති බව අපට දැනගන්නට ලැබුනා. 

ශ්‍රී ලංකාව ආසියා-ශාන්තිකර කලාපයේ ප්‍රමුඛ පෙළේ AI HUB එකක් (මධ්‍යස්ථානයක්) බවට පත් කිරීමේ මෙරට දැවැන්තම ප්‍රයත්නය ලෙස AI Expo & Conference 2025 හැඳින්විය හැකියි.

💡
මෙම ජාතික AI Expo ප්‍රදර්ශනය සහ සමුළුව, ශ්‍රී ලංකාව කලාපීය AI බලවතෙකු බවට පත්කිරීමේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වෙනු ඇති බව අපගේ විශ්වාසයයි.

හුදෙක් විශාල සමාගම්වලට පමණක් සීමා නොවී, AI විප්ලවයේ ප්‍රතිලාභ සෑම පුරවැසියෙකුටම ලැබෙන අනාගතයක් වෙත AI Expo මුලරම්භයක් වෙනු ඇතැයි Technews.lk අපි අපේක්ෂා කරනවා.