PlayStation කිවුවම මේ වෙනකොට ඒ ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් ඔන්න මේ PlayStation 2 වල අළුත්වැඩියා කටයුතු සිදු කිරීම නතර කිරීමට යන පුවතක් ජපානයෙන් වාර්ථා වෙනවා.

PlayStation 2 වල අළුත්වැඩියා කටයුතු අගෝස්තු 31 වන දිනයට පසු සිදු නොකරන බවත් යම්කිසි දෝෂයක් සහිත device එකක් තිබේ නම් ඉහත දිනයට කලින් එය අළුත්වැඩියා කරගන්නා ලෙසත් Sony සමාගමේ ජපානයේ පිහිටි ආයතනය විසින් පසුගිය ජුනි මස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

කොහොම නමුත් මෙම දිනය මීළඟ සැප්තැම්බර් 7 වන දා දක්වා දීර්ඝ කිරීමට Sony සමාගම කටයුතු කර තිබෙනවා.

2000 වර්ෂයේ මුලින්ම වෙළඳපලට නිකුත් කල PlayStation 2 එක වසර 18ක් ගත වන තුරුත් නොනවත්වා සහාය ලබා දීමට Sony සමාගම කටයුතු කර ඇති අතර මේ වන විට මෙය ලොව වැඩියෙන්ම අලෙවි වුණු Video game console එක වශයෙන් ද කිරුළු දරා සිටිනවා.

කොහොම වුණත් ඉතිහාසයේ තාක්ෂණික ආයතනයක් විසින් තම device එකක් සඳහා මේ තරම් දිගු කාලයක් එක දිගට සහාය දැක්වීම ඉතාමත් කළාතුරකින් දකින්නට ලැබෙන සිදුවීමක් වන අතර Sony සමාගමට එහි ගෞරවය නිතැතින්ම හිමි වෙනවා.