Microsoft සමාගම හා Washington විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම වරට DNA තුල දත්ත ගබඩා කර, නැවතත් එම දත්ත ලබා ගැනීමට හැකියාව තිබෙන ස්ව්‍යංක්‍රීය system එකක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.

මේ DNA තුල දත්ත ගබඩා කිරීම අලුත් දෙයක් නොවුනත් මේ වන තුරු එම කාර්යය ස්ව්‍යංක්‍රීයව සිදු කළ හැකි ක්‍රමයක් හඳුන්වා දී නොතිබූ අතර Microsoft සමාගම හා මෙම විද්‍යාඥයින් පිරිස සමත් වී තිබෙන්නේ මේ ආකාරයේ ස්ව්‍යංක්‍රීය යන්ත්‍රයක් නිර්මාණය කිරීමටයි.

මේ අනුව මොවුන් නිර්මාණය කළ යන්ත්‍රය හරහා "Hello" යන වචනය DNA වලට convert කර, එය නැවත digital දත්ත බවට පත් කිරීමේ සම්පූර්ණ කාර්යය වෙනත් කිසිඳු පාර්ශවයක හෝ ක්‍රියාවලියක මැදිහත්වීමකින් තොරව, සම්පූර්ණයෙන්ම ස්ව්‍යංක්‍රීයව සිදු කිරීමට සමත් වී තිබෙනවා.

මෙම යන්ත්‍රය නිර්මාණය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 10,000ක පමණ මුදලක් වැය වී ඇති අතර මේ හරහා "HELLO" යන 5Bytes වචනය (01001000 01000101 01001100 01001100 01001111 bits) DNA වල ගබඩා කර නැවත ලබා ගැනීම සඳහා පැය 21ක පමණ කාලයක් ගත වී තිබෙනවා. මෙම කාලය අඩු කර ගැනීම වෙනුවෙන් තවත් ක්‍රමයන් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ද එම විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.

Molecular Information Systems Lab හි සේවය කරන මෙම විද්‍යාඥයන් පිරිස මීට ඉහතදී පෙන්වා දී තිබෙන ආකාරයට photos, videos වැනි දේ පවා මෙසේ ගබඩා කොට නැවත ලබාගතහැකි අතර මේ වන විට මේ ආකාරයෙන් ගිගාබයිට් එකක (1GB) පමණ දත්ත DNA වල ගබඩා කර අත්හදාබැලීම් සිදු කර තිබෙනවා.

මෙම යන්ත්‍රය හරහා දැනට පවතින data centers එක්වරම DNA බවට පත් කළ නොහැකි නමුත්, එම කටයුත්ත නුදුරු අනාගතයේදී සිදු කළ හැකි බව ඔප්පු කර පෙන්වීමට නිර්මාණය කරනු ලැබූවක්, එහෙමත් නැතිනම්  proof-of-concept එකක් බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ DNA තුල දත්ත ගබඩා කිරීමේ තාක්ෂණය අනුව අනාගතයේදී Data centers වලට යන විශාල ඉඩකඩ ඉතාමත් කුඩා ප්‍රමාණයකට සීමා කරගතහැකි වන බවත්, ලෝකය පුරා සෑම දිනකදීම නිර්මාණය කෙරනෙු ලබන අතිවිශාල දත්ත ප්‍රමාණය ගබඩා කිරීමට මෙය අනාතයේදී කදිම විසඳුමක් ලබා දෙනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft Blog එක, Engadget වෙබ් අඩවිය හා Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.