චීන මූලාශ්‍ර දෙකක් පදනම් කරගනිමින් GSMArena වෙබ් අඩවිය විසින් වාර්තා කරන පරිදි, ජංගම දුරකථන සඳහා 4nm chipset නිකුත් කරන ලොව පළමු සමාගම බවට MediaTek සමාගම පත්වනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එම තොරතුරු වලට අනුව ඔවුන් විසින් 4nm chipset, මෙම වසර අවසානයේදී (2021 අවසන් කාර්තුවේදී) හෝ එළැඹෙන වසර මුලදී (2022 පළමු කාර්තුවේ) දී නිකුත් කිරීමට සූදානම් වෙනවා.

ඒ වගේම Xiaomi, Oppo, Vivo මෙන්ම Samsung සමාගමද MediaTek වෙතින් මෙම 4nm chipset සඳහා ඇණවුම් ලබා දී තිබෙන බව විශ්වාස කරන නමුත්, එම තොරතුරු මෙම සමාගම් විසින් තහවුරු කර නැති බවත් මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.

එමෙන්ම වාර්තා වන පරිදි MediaTek සමාගම මෙම 4nm chipset නිෂ්පාදනය කරගනු ලබන්නේ TSMC සමාගම හරහා වන අතර, මෙහි එක් unit එකක මිළ $80 ක් තරම් ඉතා ඉහළ මිලක් වෙනු ඇති බවටද තොරතුරු වාර්තා වෙන අතර, එය දැනට ඇති High-end chipset එකකට වඩා දෙගුණයක පමණ ඉහල මිලක් වීම විශේෂත්වයක් වෙනවා.

දැනට පවතින high-end chipset එකක් මේ වන විට $30-$35 අතර මිලක් වෙන නිසා, යම් හෙයකින් ජංගම දුරකථන නිෂ්පාදකයින් මෙම MediaTek 4nm chipset ඇතුළත් කර ජංගම දුරකතනයක් නිපදවුවහොත්, එම Device වල මිල සැලකිය යුතු අගයකින් ඉහළ යෑමේ විශාල ඉඩක් පවතිනවා.

කොහොම වුණත් මෙම කරුණුවල සත්‍යාසත්‍යතාවය දැන ගැනීමට තවත් වසරකට ආසන්න කාලයක් බලා සිටීමට සිදු වනු ඇති අතර, ඉදිරියේදී මේ පිළිබඳව තවත් තොරතුරු වාර්තා වූ සැනින් ඔබව දැනුවත් කිරීමට TechNews.LK කණ්ඩායම සූදානමින් සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSMArena වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.