බොහෝ විට Facebook හෝ වෙනත් මාධ්‍යයකින් "ලංකාවට eBay ලබාදෙයි" වැනි මාතෘකාවක් මේ වන විටත් ඔබ නෙත ගැටී තිබෙනවා ඇති. කිහිපදෙනෙකු ම මේ ගැන විමසූ හෙයින් Tech News කියවන ඔබට මේ පිළිබඳ යම් පැහැදිළි කිරීමක් සිදු කළ යුතු යැයි අපට නිතැතින්ම සිහි වුණා.

මුදල් අමාත්‍යංශය විසින් පසුගිය 22 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිට පිටරට වලට e-commerce හරහා භාණ්ඩ අලෙවි කරනු ලබන ආයතන වෙනුවෙන් පනවා තිබූ නීති තරමක් දුරට ලිහිල් කර ඇති බවයි.

මේ අනුව අන්තර්ජාලය හරහා B2C (Business to Consumer) එහෙමත් නැතිනම් ව්‍යාපාරික ආයතනයක් විසින් පාරිභෝගිකයා හට සෘජුව භාණ්ඩ අලෙවි කරනු ලබන අවස්ථාවකදී අදාල පාරිභෝගිකයා පිට රටක කෙනෙකු නම්, මෙම භාණ්ඩ අපනයනය කරන අවස්ථාවේදී CUSDEC application එකක් රේගුවට ලබා නොදී, භාණ්ඩයක මිල උපරිමය ඇමෙරිකානු ඩොලර් 3,000 කට අඩු භාණ්ඩ අපනයනය කිරීමට අවස්ථාව ලැබෙනවා.

කොහොම නමුත් අදාල ආයතනය විසින් මෙලෙස අපනයනය කිරීමෙන් පසුව මාසයක කාලයක් ඇතුලත අපනයනය කරනු ලැබූ සියළුම භාණ්ඩ වලට අදාලව එක CUSDEC application එකක් ශ්‍රී ලංකා රේගුවට ලබා දිය යුතු වෙනවා.

මෙම පහසුකම භාවිතා කිරීමට නම් අදාල ආයතනය හෝ පුද්ගලයා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී සිටිය යුතු වෙනවා.

බොහෝ වෙලාවට මෙම ප්‍රවෘත්තිය "ලංකාවට eBay ලබාදෙයි" වැනි මාතෘකා යටතේ පළ වුවත් eBay යනු තවත් එක් e-commerce platform එකක් පමණක් වන අතර මෙය එම platform එකට පමණක් සීමා වන නීතියක් නොවේ.

එමෙන්ම මෙය eBay සමාගමට වත් PayPal සමාගමටවත් කිසිසේත්ම සම්බන්ධයක් නොමැති අතර විශේෂයෙන්ම paypal හරහා මුදල් මෙරටට ගෙන්වා ගැනීමට මෙය සම්බන්ධයක් නොමැති බව පැහැදිළිව තේරුම්ගත යුතු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා dailymirror වෙබ් අඩවිය හා ft.lk වෙබ් අඩවිය භාවිතා කළ හැක.