Google සමාගම සහ චීනය කියන්නේ එකිනෙකා අතර හොඳහිත පවතින පාර්ශවයන් දෙකක් නොවන බව මේ වන විට ඔබ දන්නවා ඇති.

චීනය කියන්නේ බොහොම තදින් තොරතුරු වාරණය කරනු ලබන රටක් වන අතර එරට රජය විසින් අනුමත නොකරන ආකාරයේ කිසිඳු තොරතුරක් මහජනයාට දැනගැනීමට ඉඩ නොතබන්නටත් ඒ වෙනුවෙන් ඕනෑම ආකාරයක තද තීරණ ගැනීමටත් ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරනු ලබනවා.

නමුත් Google කියන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය සෑම කෙනෙකුටම තිබිය යුතු බව තදින් විශ්වාස කරනු ලබන ආයතනයක් වන අතර මෙම අදහස් වල පරස්පර විරෝධී බව නිසාවෙන් 2009 වන විට YouTube, Twitter සහ Facebook වැනී සේවා රැසක් චීනය තුල භාවිතා කිරීම තහනම් කරනු ලැබූ අතර Google Search පහසුකම 2006 සිට 2010 දක්වා වාරණය කරනු ලැබූ සෙවීමේ පහසුකමක් පවත්වාගෙන යන්නට කටයුතු කළා.

නමුත් මේ ආකාරයේ තොරතුරු වාරණය කිරීමට අකමැති වූ Google සමාගම ඇමෙරිකානු රජයෙන් ලද නීතිමය උපදෙස් මත ඔවුන්ගේ Search පහසුකම සම්පූර්ණයෙන්ම චීනය තුලින් ඉවත් කරගැනීමට කටයුතු කළ නමුත්, දැන් එම සේවාව අළුත් ආකාරයකින් නැවත ඉදිරිපත් කිරීමට සූදානම් වන බවක් දැනගන්නට ලැබෙනවා.

ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට වශයෙන් චීනයෙහි ඇති වෙළඳ වැදගත්කම Google සමාගම විසින් හඳුනාගෙන ඇති අතර ඒ වෙනුවෙන් "Dragonfly" යන නමින් හඳුන්වනු ලබන ව්‍යාපෘතියක් පවත්වාගෙන යාමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

චීන වාරණ නියාමනයන්ට අනුකූල වෙමින් මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ආගම් හා සාමකාමී විරෝධතා යන වර්ග වලට අයත් වන තොරතුරු මෙම අළුත් Search engine එක හරහා වාරණය කිරීමට කටයුතු කරන අතර මේ වෙනුවෙන් “Maotai” හා “Longfei” යනුවෙන් app දෙකක් නිර්මාණය කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම app දෙක ඇසුරින් අදාල සෙවුම් වාරණය කිරීම චීන රජයට පැහැදිලි කිරීමට නියමිත අතර මීළඟ මාස 6 - 9 අතර කාලය ඇතුලත මෙය චීන මහජනතාවට නිකුත් කිරීමට Google සමාගම සූදානම් වන බව වැඩි දුරටත් වාර්ථා වෙනවා.