Play Store එක කියන්නේ මේ වෙනකොට මිලියන 3.3කට අධික apps ප්‍රමාණයක් තිබෙන app store එකක් වුණත්, මෙහි තිබෙන apps වලින් සැලකිය යුතු තරමේ ප්‍රමාණයක් කුමන හෝ ආකාරයක අකටයුතුකමක් අන්තර්ගත වෙලා තිබෙන බව මේ වෙනකොට ගොඩදෙනෙක් දන්න කාරණයක්.

කොහොම නමුත් මෑත කාලීනව Google සමාගම විසින් මේ Play Store එක තුල ඇති apps වල තත්ත්වට වඩාත් යහපත් අතකට රැගෙන එන්න විශාල උත්සාහයක් දරණ බවක් පේන්න තියන අතර මේ අනුව Google Play Store එක හරහා Cryptocurrency miners සහ ආයුධ විකිණීමට සම්බන්ධ apps ඉවත් කරන්න ඔවුන් පියවර අරගෙන තියනවා.

Google-bans-cryptocurrency-miners-tech-news-sinhala

මේ Cryptocurrency miners කියන්නේ කෙටියෙන් කියනවා නම් Bitcoin වගේ වෙනත් Cryptocurrency ජනනය කිරීමට භාවිතා කරන apps වලටයි. කොහොම වුණත් මේ වෙනකොට Cryptocurrency තිබෙන තත්ත්වය අනුව ජංගම දුරකථනයකින් මෙවැනි ජනනය කිරීමක් සිදු කිරීමට නොහැකි (ඉතාමත් අපහසු) බව Cryptocurrency ගැන දන්න අය දැනුවත් වුණත්, මෙයට අළුතින් එකතු වෙන පිරිස නොමඟ යවා ads මගින් හෝ වෙනත් ක්‍රමයකින් මුදල් ඉපයීම පමණක් අරමුණ කරගත් Cryptocurrency miners වශයෙන් පෙනී සිටින apps විශාල ප්‍රමාණයක් මේ play store එකේ තියනවා.

ඉතින් මේ තත්ත්වය නිසා සිදුවන අකටයුතුකම් වැලැක්වීමේ අදහසින් Google සමාගම සියළුම Cryptocurrency miner apps Google Play Store එකෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මීට පෙර අවස්ථාවකදී Chrome web store එකෙන් ද Cryptocurrency mining extenstions ඉවත් කිරීමට Google සමාගම කටයුතු කළා.

එමෙන්ම ආයුධ අලෙවි කිරීම හෝ ඒ හා සම්බන්ධ කටයුතු වලින් ද ඈත් වී සිටීමට Google සමාගම තීරණය කර ඇති අතර ඒ අනුව ආයුධ විකිණිම හෝ නිවසේදී තමන්ගේම ආයුධ නිෂ්පාදනය කරගැනීමට උපදෙස් ඇතුලත් apps පවා මේ ආකාරයට Play Store එකෙන් ඉවත් කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

මීට අමතරව ads පෙන්වීම පමණක්ම අරමුණු කරගත් apps එනම් සෑම tap කිරීමකදීම ads පෙන්වා භාවිතා කරන්නාව නොමඟ යවන apps ද මේ ආකාරයට play store එකෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව Google සමාගම වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.