Flipboard සේවාව ලොව පුරා බොහෝ දෙනෙකු තමන් කැමති news බැලීම සඳහා භාවිතා කරනු ලබන සේවාවක් වන අතර ලොව පුරා මිලියන 150ක පමණ පරිශීලක සංඛ්‍යාවක් ඔවුන් වටා මේ වන විට එකතු වී සිටිනවා.

කොහොම නමුත් පසුගිය මැයි 28 වැනිදා ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් Flipboard සමාගම ප්‍රකාශ කර සිටියේ 2018 වර්ෂයේ ජුනි මස 2 වැනි දින සිට 2019 වර්ෂයේ මාර්තු 23 වැනි දින දක්වා සහ 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 සහ 22 ඇතුළු මාස 10ක පමණ කාළසීමාව ඇතුලත හඳුනා නොගත් හැකර්වරුන් පිරිසක් විසින් access කර ඇති බව ප්‍රකාශ කර සිටිනු ලැබුවා.

මොවුන් හට Flipboard database වලට පිවිසී පරිශීලකයන්ගේ නම, username එක, encrypt කරන ලද password එක, email ලිපිනය හා වෙනත් සේවාවන් වෙත access ලබා දීමට භාවිතා කරනු ලබන token ඇතුලුව පරිශීලක දත්ත download කරගැනීමේ හැකියාව තිබුණු බව Flipboard සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

තම පරිශීලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මීට අදාල පරිශීලකයන් හට email පණිවිඩයක් මගින් මේ පිළිබඳව දැන්වීමට මොවුන් කටයුතු කර ඇති අතර මීළඟට Flipboard ගිණුමට login වෙන අවස්ථාවේදී තම Flipboard ගිණුමට අලුත් password එකක් ඇතුලත් කිරීම සඳහා යොමු කෙරෙනු ඇත.

දැනටමත් login වී සිටින පරිශීලකයන් හට තවදුරටත් එම සේවාව භාවිතා කළ හැකි බවත්, මෙසේ සොරකම් කරන ලද දත්ත කිසිවක් අදාල හැකරුවරුන් විසින් භාවිතා කළ බවට කිසිඳු සාක්ෂියක් ද නොමැති බවත් Flipboard ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

කොහොම නමුත් Flipboard සේවාව හරහා ඔවුන්ගේ පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු හෝ bank details, credit card numbers වැනි මූල්‍යය කටයුතු පිළිබඳ තොරතුරු ගබඩා කර නොගන්නා නිසාවෙන් එවැනි කිසිඳු තොරතුරක් හැකර්වරුන් අතට පත් නොවූ බවත් වාර්ථා වෙනවා.

සම්පූර්ණ පරිශීලකයන් මිලියන 150 අතුරින් කෙතරම් පිරිසකගේ දත්ත මෙසේ සොරකම් කරනු ලැබුවේදැයි යන්න පිළිබඳව නිළ ප්‍රකාශයක් Flipboard ආයතනය විසින් සිදු කර නොමැති අතර තමන්ගේ Flipboard password එක වෙනත් ගිණුම් සඳහා භාවිතා කරනු ලබන්නේ නම් ඒවා වෙනස් කරන ලෙස ඔවුන් තම පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

‍තම පද්ධතීන් මෙලෙස හැකර්වරුන්ගේ ග්‍රහනයට ලක් වූ ආකාරය පිළිබඳව ඔවුන් තවමත් පරීක්ෂණ කරමින් සිටින අතර තවමත් ඒ පිළිබඳව ද තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Flipboard වෙබ් අඩවිය හා The Hacker News වෙබ් අඩවිය භාවිතා කළ හැක.