Apple සමාගම විසින් ඔවුන්ගේ පැරණි devices recycle කර, එහෙමත් නැතිනම් ප්‍රතිචක්‍රීකරණය කර එම කොටස් නැවත අලුත් devices නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරනු ලබන බව ඔබ Apple devices පරිශීලකයෙකු නම් දැනටමත් දන්නවා ඇති.

කොහොම නමුත් මේ වන විට මෙලෙස ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කළ iPhones, iPads මෙන්ම Apple Watches 103,845 කට අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් බැහැරව නැවත අලෙවි කිරීමට කටයුතු කර ඇති පුවතක් වාර්තා වෙනවා.

E-waste, එහෙමත් නැතිනම් ඉලෙක්ට්‍රොනික කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා Apple සමාගම 2015 - 2017 යන වර්ෂ වලදී hire කරනු ලැබූ ආයතනයක් වන GEEP Canada ආයතනය හරහා මෙම devices ‍නැවත වෙළඳපොලට නිකුත් වී ඇති අතර, මෙම කාලය තුළ Apple devices 500,000 අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය සඳහා මොවුන් වෙත යොමු කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් Apple සමාගම විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයක් අතරතුරදී මෙලෙස ඉවත් කළ devices අතරින් 18%ක පමණ ප්‍රමාණයක් cellular networks හරහා තවමත් අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති බව දැකගත හැකිව ඇති අතර, වැඩිදුරටත් පරීක්ෂා කර බැලීමේදී මෙම වංචාව හෙළිකරගැනීමට හැකිව තිබෙනවා.

මෙම GEEP Canada ආයතනයට විරුද්ධව නඩු පැවරීමත්, ඇමෙරිකානු ඩොළර් මිලියන 22.7ක පමණ වන්දි මුදලක් ඉල්ලා සිටීමටත් Apple සමාගම කටයුතු කර ඇති අතර අදාල සමාගම ප්‍රකාශ කරන්නේ එම සමාගම මෙම කටයුත්තට සම්බන්ධ නොවන බව මෙන්ම ඔවුන්ගේ සේවකයින් කිහිප දෙනෙකු මෙය සිදු කරගෙන ගොස් ඇති බවත් ය.

කොහොම නමුත් මෙම ‍සේවකයින් එම සමාගමේ විධායක ‍සහ කළමනාකරණ පන්තියේ සේවකයින් වන බැවින් Apple සමාගම එම කාරණාය ප්‍රතික්ෂේප කර සිටිනවා.


පසුගිය වසර ඇතුලත ඉලෙක්ට්‍රොනික කසළ මෙට්‍රික් ටොන් මිලියන 53.6ක පමණ ප්‍රමාණයක් එකතු වී ඇති බව වාර්ථා වන අතර අනෙකුත් තාක්ෂණික සමාගම් මෙන්ම Apple සමාගම ද පරිසරය රැකගැනීම කෙරෙහි බොහෝ උනන්දුවක් දක්වන බව ඔබ දන්නවා ඇති.

විශේෂයෙන්ම Apple devices වල ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු කොටස් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා Daisy සහ Dave යන රොබෝවරුන් පවා නිර්මාණය කරමින් මෙම කටයුත්ත විධිමත් කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

iPhone ප්‍රතිචක්‍රීකරණයට දායක වන Daisy රොබෝ සමග Apple සමාගම පර්යේශණාගාරයක් විවෘත කිරීමට කටයුතු කරයි
Daisy යනු apple සමාගම විසින් පසුගිය වර්ෂයේ නිපදවූ අඩි 33ක දිගින් සහ කොටස් 5කින්යුත් විශාල රොබෝ කෙනෙකි. මෙය 2016 වසරේ ඇපල් සමාගම විසින් හදුන්වා දුන් Liam[https://www.apple.com/th/environment/pdf/Liam_white_paper_Sept2016.pdf] නැමතිරොබෝගේ නවීකරණයක් ලෙසද සදහන් කිරීමට පුළුවන්. (Liam නිපදවා තිබූයේ iP…

කොහොම නමුත් Apple සමාගමට තනිවම මෙම කටයුත්ත සිදු කරගැනීමට නොහැකි වූ නිසාවෙන් වෙනත් සමාගම් කිහිපයක සේවාව ලබාගැනීමට කටයුතු කර ඇති අතර, ඒ අතර සිටි එක් ආයතනයක් ලෙස GEEP Canada ආයතනය පෙන්වාදිය හැකි වෙනවා.

නැවත භාවිතා කළ හැකි මට්ටමේ ඇති devices විනාශ කිරීම නොකර නැවත භාවිතා කිරීම සඳහා යොමු කිරීම හොඳ කටයුත්තක් වුවත් මෙලසෙ වෙළඳපොලට එකතු වන devices වලට ව්‍යාජ කොටස් යොදා repair කර ඇති බැවින් මෙන්ම බැටරි සහ අනෙකුත් උපාංග Apple සමාගමේ quality සහ safety standards වලට නොගැලපෙන බැවින් මෙය එම සමාගමට ඉතාමත් භයානක තත්ත්වයක් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.