Omicom සමාගමට අයත් Marketing Consulting ආයතනයක් වන Interbrand ආයතනය විසින් පෙන්වා දෙන පරිදි 2020 වසරට අදාළව ලෝකයේ වැඩිම වටිනාකමකින් යුතු වෙළඳනාමය බවට Apple වෙළඳනාමය පත් වී තිබෙනවා.

ඒ අනුව මෙලෙස 2020 වසරේ ලෝකයේ හොඳම වෙළෙඳ නාම අතර පළමු තැන Apple විසින් හිමිකරගෙන තිබෙන අතර එහි වටිනාකම ඩොලර් බිලියන 323 ක් බව වාර්තා වෙනවා.

Amazon මෙහි දෙවන තැනට පත් වී තිබෙන අතර Amazon brand එකේ වටිනාකම ඩොලර් බිලියන 200 ක් ලෙස සටහන් වෙනවා සේම එය පසුගිය වසරට සාපේක්ෂව 60% ක පමණ වර්ධනයක් වෙනවා.

මෙම තුන්වැනි තැනට පත් වී ඇති Microsoft සමාගම ඩොලර් බිලියන 166 ක වටිනාකමකට හිමිකම් කියන අතර Microsoft සමාගමද පසුගිය වසරට සාපේක්ෂව 53% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි Interbrand ආයතනය පෙන්වා දෙන්නේ.

කෙසේ වුවත් Google සමාගම පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන දෙකකින් පහළ වැටී තිබෙන අතර වැඩිම වටිනාකමින් යුතු මුල්ම ආයතන තුන අතරිනුත් පහළට පැමිණ තිබෙනවා. ඒ අනුව 2020 වසරේදී ඔවුන්ට හිමි වී තිබෙන්නේ මෙම ලැයිස්තුවේ හතරවන ස්ථානයයි.

Google brand එකේ වටිනාකම 2020 වසරේදී ඩොලර් බිලියන 165 ක් ලෙස වාර්තා වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 1% පසුබෑමක් වෙනවා.

මෙම ලැයිස්තුවේ තවත් ජනප්‍රිය සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළහොත්, ගිය වසරේ 6 වැනි ස්ථානයේ පසුවූ Samsung සමාගම මෙවර 5 වන ස්ථානයේත්, Intel සමාගම 12 වන ස්ථානයේත්, Facebook සමාගම 13 වන ස්ථානයේත් පසුවන අතර Instagram සමාගමට හිමි වී තිබෙන්නේ 19 වන ස්ථානයයි.

මෙම දත්තයන් අදාල සමාගම් වල වටිනාකම ලෙස පටලවා නොගන්නා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින අතර එනම්,මෙම දත්තයන් මෙම වෙළඳනාම වල වටිනාකම පමණයි. උදාහරණයක් ලෙස Apple වෙළඳනාමයේ වටිනාකම ඩොලර් බිලියන 323 ක් වුවත් එම සමාගමේ වෙළඳපොල වටිනාකම ඩොලර් ට්‍රිලියන 2 කට වඩා වැඩි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Interbrand වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.