තදබදයකින් හෝ කාලය නාස්ති වීමකින් තොරව ප්‍රවාහනය සිදු කිරීම වර්ථමානයේ ලොව දකින ලොකුම සිහිනයයි.

ලෝකයේ ඇතැම් නඟර යම් ප්‍රමාණයකින් හෝ මෙම සිහිනය කරා ළඟා වී තිබුණත් ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව බහුතර රටවල ප්‍රවාහනය යනු තවමත් පිළිතුරු නැති ගැටළුවක් පමණයි.

ලොවම මුහුණ දී තිබෙන මෙම ප්‍රවාහනය පිළිබඳව ගැටළුවට විවිධ විසඳුම් මේ වන විට යෝජනා වී තිබුණත්, ඒ අතර වූ Hyperloop concept එක පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී තිබෙන අතර, මෙම සංකල්පයේ හිමිකරුවා වන්නේ Tesla හා SpaceX සමාගම් හිමි Elon Musk මහතායි.

අඩුපීඩන වායුවක් සහිත tube එකක්, නැතිනම් නළයක් තුළින් අධි වේගයෙන් ගමන් කිරීම මෙම තාක්ෂණයේ මූලික සංකල්පය වෙන අතර Elon Musk විසින් 2012 දී මෙම සංකල්පය මුලින්ම හෙළිදරව් කිරීමට කටයුතු කලා.

එතැන් සිට ගෙවෙමින් තිබෙන වසර 8 ක කාලය තුළ කොරියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඇමරිකාව, සවුදි අරාබියාව හා අපේ අසල්වැසි ඉන්දියාව වැනි රටවල අවධානය මෙම Hyperloop සංකල්පය වෙත යොමු වී තිබෙන අතර, සමාගම් ලෙස ගතහොත් Hyperloop TT හා Virgin Hyperloop යන සමාගම් වල අවධානය මේ වෙත යොමුවී තිබෙනවා.

එයිනුත් ලොව පළමු වතාවට මඟීන් සහිතව Hyperloop test riding එකක් සිදු කිරීමට Virgin Hyperloop සමාගම පසුගිය දිනෙක සමත් වූ අතර, එය Hyperloop transportation system එක ඔස්සෙ සිදු කල ප්‍රථම මඟී සංචරණය ලෙස ඉතිහාසගත වෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ, නෙවාඩා හි, ලාස් වේගාස් නගරයට නුදුරු ප්‍රදේශයක ඉදිකරන ලද Hyperloop test ධාවන පථයක Pegasus නම් වූ pod එක භාවිතා කරමින් මෙම පරීක්ෂණ ධාවනය සිදු වූ අතර, එය තත්පර 15 ක් තුළ, 120kmph වේගයකින් 500m දුරක් සම්පුර්ණ කිරීමට සමත් වුණා.

මේ අතර දකුණු කොරියානු වාර්තා පෙන්වා දෙනු ලබන්නේ ඔවුන් විසින් වැඩිදියුණු කරමින් තිබෙන Hyperloop transport system එකේ මූලාකෘතියක්, 1,000 kmph වේගයක් වාර්තා කිරීමට සමත් වූ බවයි.

එමෙන්ම 2024 වර්ෂය වන විට සිය Hyperloop network එක launch කිරීම දකුණු කොරියාවේ බලාපොරොත්තුව වන අතර, ඔවුන් විසින් සෝල් සිට බූසාන් දක්වා වූ ප්‍රවාහනය සඳහා දැනට ගතවෙන පැය 3 ක කාලය, මිනිත්තු 30 දක්වා අඩු කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා.

මෙම තොරතුරු වලින් පැහැදිලි වන කරුණ නම් ලෝකය වේගයෙන් නව තාක්ෂණයන් සොයා යන බව වන අතර, 2012 දී මුලින්ම මෙම concept එක Elon musk විසින් හෙළිදරව් කිරීමෙන් වසර 8 කට පසු එය යම් ප්‍රමණකින් යථාර්ථයක් බවට පත්කර ගැනීමට ලෝකය සමත් වීමෙන් ඒ බව පැහැදිලි වෙනවා.

Virgin Hyperloop සමාගමට අනුව මෙම Hyperloop Concept එක 2030 දී පමණ වාණිමය භාවිතය සඳහා නිම වනු ඇති අතර, ඒ සඳහා තවත් දශකයක පමණ කාලයක් බලා සිටීමට සිදු වන බවද මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය, BBC වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.