පසුගිය දින කිහිපය පුරාවට අන්තර්ජාලය පැය 48ක් දක්වා බිඳ වැටෙන බවට ප්‍රවෘත්තියක් සමාජජාල සේවාවන් හරහා පැතිර යනු දකින්නට ඇති.
මෙයට හේතුව වශයෙන් පෙන්වා දී තිබුනේ Internet Corporation for Assigned Names and Numbers (ICANN) එක විසින් ඔවුන්ගේ server පරිඝනක වල Root Key Signing Key වල කළමනාකරණ කටයුතු සිදු කිරීම නිසාවෙන් ලොව පුරා අන්තර්ජාල සබඳතාවයන් අඩාල වන බවයි.
මේ ක්‍රියාවලියේදී සිදු කරනු ලබන්නේ ලොව ප්‍රධානම nameservers වල ආරක්ෂාව වෙනුවෙන් ඇති cryptographic key යුගලය update කිරීම වන අතර මූලිකව මෙය සිදු කිරීමට නියමිතව තිබුණේ පසුගිය 2017 වර්ෂයේදීයි.
මේ වෙනස්කම සිදු කිරීම පිළිබඳව පසුගිය අගෝස්තු මස නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, පසුගිය ඔක්තෝම්බර් මස 11 වන දා මෙය සිදු කිරීමට නියමිත කර තිබුණි. එසේම සැලසුම් කර තිබූ ආකාරයටම එදින මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබූ අතර මේ වන තුරු ද ඒ හරහා සැලකිය යුතු මට්ටමේ බලපෑමක් සිදු වී නොමැති බවත්, වාර්ථා වූ සුළු බිඳවැටීම් සියල්ලටම සාර්ථකව විසඳුම් ලබා දී ඇති බවත් ICANN එක විසින් නිවේදනය කර තිබෙනවා.
ICANN is not aware of any significant problems with the root KSK rollover.https://t.co/PzFBZjBOTg#Keyroll #kskroll #ICANN pic.twitter.com/OmTae4NjFp
— ICANN (@ICANN) October 12, 2018
මේ නඩත්තු කටයුතු සිදු කිරීම බිඳ වැටීමේ හැකියාව අවම කළ හැකි ලෙස සැලසුම් කර තිබූ අතර ලොව පුරා අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 99%ක් පමණ දෙනාට මෙහි කිසිඳු බලපෑමක් ඇති නොවන ආකාරයට කටයුතු සැලසුම් කරන්නට ඔවුන් සමත් වී තිබුණා. එමෙන්ම බළාපොරොත්තු වූ අයුරින් ඉතිරි 1% ක ප්‍රමාණයට ද සැලකිය යුතු බලපෑමක් සිදු වි නොමැති බව ද මේ වන විට දැනගන්නට ලැබෙනවා.
මෙම කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පැය 48ක කාලයක් තුල අදාල බිඳවැටීම් අපේක්ෂා කළ නමුත් මේ වන විට පැය 48ක කාලයද අවසන් වී ඇති අතර මේ ගැන බිය වීමට කිසිඳු අවශ්‍යයතාවයක් නොමැති බව පැහැදිලි වෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ICANN හි නිළ වෙබ් අඩවිය, businesstoday වෙබ් අඩවිය හා networkworld වෙබ් අඩවිය භාවිතා කළ හැක.