Smartphone සදහා අවම වසර හතක් දක්වා software සහය සහ අමතර කොටස් ලබා දෙන ලෙස දුරකතන නිෂ්පාදන සමාගම්වලට යෝජනා කරන ලෙස ජර්මනිය විසින් යුරෝපා සංගමයට බල කරමින් සිටිනවා.

ජර්මානු තාක්ෂණික තොරතුරු වෙබ් අඩවියක් වන Heise Online උපුටා දක්වමින් මාධ්‍ය විසින් මෙම කරුණු වාර්තා කරන අතර, මෙවැනි යෝජනාවකින් පාරිභෝගිකයින්ට සිය ජංගම දුරකථන බොහෝ කාලයක් භාවිතා කිරීමට හැකියාව ලැබෙන බව සහ පරිසරයට එකතු වෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විශාල වශයෙන් අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මෙහිදී software සහාය යනුවෙන් අදහස් කරන්නේ නව features සහිත Main OS upgrade පමනක් නොවෙන අතර, වසර 7 ක් දක්වා security patch සහය ලබාදීම ද මෙහි ප්‍රමුඛතම අරමුණ වෙනවා.

යුරෝපා සංගමය විසින් දැනටමත් වසර 5 ක කාලයක් සඳහා software, අමතර කොටස් සහය හා සාධාරණ මුදලකට අමතර කොටස් ලබාදීම යන කරුණු සම්බන්ධ යෝජනාවක් ජංගම දුරකථන නිෂ්පාදකයින්ට ඉදිරිපත් කර තිබෙන නමුත් Apple හැරුණු විට වෙනත් කිසිදු දුරකථන සමාගමක් සාමාන්‍ය පරිදි වසර 5ක් දක්වා software සහය ලබා දෙන බවක් පෙනෙන්නට නැහැ.

ජර්මනියේ මෙම ඉල්ලීම, යුරෝපා සංගමය සතු දැනට තිබෙන යෝජනාවෙහිම දිගුවක් බව පෙනෙන්නට තිබෙන අතර, කොහොම උනත් Android ජංගම දුරකථන නිෂ්පාදකයින් විසින් දැනට ඇති යෝජනාව ද අනුගමනය නොකිරීමේ පසුබිම තුළ මෙම නව යෝජනාව අනුගමනය කරාවියයි විශ්වාස කිරීමට හැකියාවක් නොමැති බව ද මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා.

Apple සමාගම සාමාන්‍යයෙන් වසර 6 හෝ 7 ක් දක්වාත්, Samsung, Google වැනි සමාගම් වසර 3 ක් හෝ 4 ක් දක්වාත් software සහය ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර අනෙකුත් බොහෝ Android ජංගම දුරකථන නිෂ්පාදකයින් වසර 2 ක් හෝ 3 කින් පසුව software සහය ලබා දීම නතර කරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.