Hologram තාක්ෂණය කරලියට පැමිණීමත් සමග වෛද්‍යය විද්‍යාව, කර්මාන්ත, ව්‍යාපාර, ක්‍රීඩා, අධ්‍යාපනය, රංගනය, ගොවිතැන ආදී වූ බොහොමයක් ක්ෂේත්‍රවල එයින් ප්‍රයෝජන ගැනීමට පටන්ගෙන ඇත.

නමුත් hologram යනු කුමක්ද ? ඉහත ක්ෂේත්‍ර තුල මෙම තාක්ෂණය භාවිත වෙන්නේ කෙසේද ? සහ ඔබට මෙම තාක්ෂණයෙන් ප්‍රයෝජන ගත හැකි විකල්ප තිබේද ? යැයි දැන් ඔබට ප්‍රශ්ණයන් නැගෙනු ඇත.

Hologram කියන්නේ මොකද්ද ?

සරලව කිවහොත්, holography හෝ hologram technology එක යනු වස්තුවකින් විසිරෙන ආලෝකය record කරගැනීමෙන් අනතුරුව, එය 3D, එහෙමත් නැතිනම් ත්‍රිමාන වස්තුවක් ලෙස project කළ හැකි, ඡායාරූපකරණයේ මීළග අදියරයක් ලෙස දිගහැරෙන තාක්ෂණයකි. මෙහි විශේෂත්වය වන්නේ එය නැරඹීම සඳහා විශේෂිත වූ උපකරණ පැළඳීම අනවශ්‍යය වීමයි.

මෙම තාක්ෂණයේ transmission holograms, rainbow holograms වල සිට ආරම්භ වී, දැනට භාවිතා වන 3D holograms දක්වා වර්ධනය වී තිබෙන අතර, මෙම 3D holograms වල විශේෂත්වය වන්නේ ඒවා වෙනත් display එකක් හෝ surface එකක් නොමැතිව සාමාන්‍යය අවකාශයේ project කිරීමට හැකියාව තිබීමයි. එමෙන්ම මෙය ඕනෑම කෝණයකින් නැරඹීමේ හැකියාව ලැබෙන අතර, එයින් ලබාගත හැකි අත්දැකීම බොහෝ සත්‍යාසන්න වීමයි.

කවුද මේ තාක්ෂණය ලොවට හඳුන්වාදුන්නේ සහ එහි පසුබිම මොකද්ද ?

1940 වසර අගභාගයේදී මෙම තාක්ෂණය මුල් වරට ලොවට හඳුන්වාදුන්, නොබෙල් ත්‍යාගලාභී ඩෙනිස් ගැබෝර් මහතා හොලෝග්‍රැෆික් තාක්ෂණයේ නිර්මාතෘ ලෙස පිළිගැනේ. පසු කලෙක එනම් 1962 වසරේදී යූරි ඩෙනිසියුන් මහතාට පටිගත කළ 3D objects භාවිතා කරමින් ප්‍රායෝගික ලෙස hologram වස්තු දර්ශනය කිරීමට හැකියාව ලැබුණි. මෙලෙස විවිධ විද්‍යාඥයින් යටතේ වැඩිදියුණු වූ මේ hologram තාක්ෂණය සමඟින් 2009 වසරේදී interactive holographic display නිර්මාණය වූ අතර, මීළඟ වසර වන විට 3D holograms නිර්මාණය කිරීමට විද්‍යාඥයින් සමත් විය. එමෙන්ම මේ වන විට වෙනත් remote location එකක සිට 3D වස්තුවක් real-time ලෙස project කළ හැකි නව hologram තාක්ෂණයක් හඳුන්වාදීමට ද විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.

මොනවටද අපිට මේ hologram technology එක පාවිච්චි කරන්න පුලුවන් ?

දත්ත ආචයනය (Data storage): හොලෝග්‍රැෆික් දත්ත ගබඩා කිරීමේ ක්‍රම භාවිතා කිරීමෙන් high-density crystals හෝ polymers තුළ විශාල තොරතුරු ප්‍රමාණයක් ගබඩා කළ හැක. මෙම ආකාරයේ දත්ත ගබඩා කිරීමේ වාසිය නම් පටිගත කිරීමේ මාධ්‍යයේ මතුපිට පමණක් නොව එහි සම්පූර්ණ පරිමාව භාවිතා කිරීමයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ පටිගත කිරීමේ මාධ්‍යයක් ලෙස නිවැරදි වර්ගයේ polymers සමඟ තත්පරයකට ගිගාබිට් එකක writing speed එකක් සහ තත්පරයකට terabit එකක reading speed එකක් ද ලබාගත හැකි බවයි. එබැවින් holographic storage මීළඟ පරම්පරාවේ ගබඩා මාධ්‍ය බවට පත්වීමේ හැකියාව ඇත.

ආරක්‍ෂාව: සාමාන්‍යයෙන් මුදල්, ක්‍රෙඩිට් කාඩ්පත්, විදේශ ගමන් බළපත්‍ර වැනි අතිශයින් වැදගත් දෑ ව්‍යාජ ලෙස සකස් කිරීම වැලැක්වීමට, ඒ සඳහා ආරක්ෂිත hologram watermark එකක් යොදාගත හැකි අතර, එසේ භාවිතා කරන holograms, master hologram එකක් පාදක කරගෙන ප්‍රතිනිර්මාණය කරන බැවින් ඒවා ව්‍යාජ ලෙස සකස් කිරීම අතිශය දුෂ්කර වෙනවා.

වෛද්‍ය විද්‍යාව : හොලෝග්‍රෑම් තාක්‍ෂණය වෛද්‍ය විද්‍යාවේ විප්ලවීය වෙනසක් කරා ගමන් කරමින් සිටී. මිනිස් සිරුරේ full-colour 3D hologram නිපදවීමේ හැකියාව මේ වන විට තිබෙනවා. සිසුන්ට සහ වෛද්‍යවරුන්ට මොළය, හදවත, අක්මාව, පෙනහළු, ස්නායු සහ මාංශ පේශි වැනි සංකීර්ණ ඉන්ද්‍රියයන්ගේ ත්‍රිමාණ රූප මේ හරහා දැකගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ශල්‍යකර්මයට පෙර එය සැලසුම් කිරීමට ද මෙම තාක්ෂණය උපකාරී වේ. සැබෑ ශල්‍යකර්මයකට පෙර ශල්‍ය වෛද්‍යවරයාට ශල්‍යකර්මයේ සම්පූර්ණ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම දෘශ්‍යමාන කළ හැකි අතර එමඟින් රෝගීන්ට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අවස්ථා වැඩි කරයි. ඩිජිටල් හොලෝග්‍රැෆික් අන්වීක්ෂය මඟින් සෛල ගණනය කිරීම සහ සජීවී පටකවල ගැඹුරින් ඇති උප සෛල චලිතය ද විශ්ලේෂණය කිරීමට හැකි වේ.

යුධමය කටයුතු සදහා : 3D holographic maps භාවිතා කිරීම මේ වන විටත් යුධමය කටයුතු සඳහා බහුලව භාවිතා වන අතර, ආරක්ෂිත ලෙස යුධමය තොරතුරු ගබඩා කිරීම, සෙබලුන් පුහුණු කරවීම වැනි කටයුතු සඳහා ද මෙම තාක්ෂණය මේ වන විටත් භාවිතා කරමින් පවතිනවා.

විනෝදාස්වාදය සහ ක්‍රීඩා: සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ඊට අදාල පුද්ගලයින් එම මොහොතේ එම ස්ථානයේ නොමැති වුවත්, holographic තාක්ෂණය හරහා එය සජීවී ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති අතර, video games සඳහා ද මෙම තාක්ෂණය ඉතාමත් නිර්මාණශීලී අයුරින් භාවිතා කළ හැකි වෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩකයාට අදාල video game එක ඇතුලත ඇති අත්දැකීම සජීවී අත්දැකීමකට ඉතාමත් ආසන්න ලෙස ඉතාමත් තාත්ත්වික අයුරින් ලබාදීමට මෙම Hologram තාක්ෂණය හරහා හැකියාව ලැබෙනවා.

අධ්‍යාපනය: හොලෝග්‍රෑම් තාක්‍ෂණයට අධ්‍යාපනික අත්දැකීම් විශාල ලෙස වැඩිදියුණු කළ හැක. ‍පාසැල් වල ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී සිසුන් හට interactive ලෙස digital content ඉදිරිපත් කිරීම මෙන්ම digital සහ real world තොරතුරු භාවිතා කරමින් mixed reality අත්කීමක් ලබාදීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම සංකීර්ණ විෂයයන් අවබෝධ කරගැනීම සහ interact කිරීම සඳහා සිසුන්ට holographic images භාවිතා කළ හැක. නිදසුනක් වශයෙන්, ඔවුන්ට තනි තනි පරමාණුක අංශු සහ එහි හැසිරීම පහසුවෙන් දර්ශනය කළ හැක, නැතහොත් ඉතිහාස පන්තියක පැරණි ස්මාරකවල නටබුන් virtual ලෙස ගවේෂණය කළ හැකිය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා, Microsoft Research Blog එක, ssla වෙබ් අඩවිය සහ  lamasatech වෙබ්  අඩවිය භාවිතා කළ හැක.