පරිගණක ඉතිහාසයේ කතාව ලියැවුණේ ජයග්‍රාහකයා වූ MS-DOS වටා වන අතර, Kildall සහ CP/M අඳුරේම සැඟවී ගියා.


පරිගණක ඉතිහාසයේ දැවැන්ත චරිත ගැන කතා කරන විට, Bill Gates ගේ නම අනිවාර්යයෙන්ම මතකයට එනවා. නමුත්, Gates ට නොදෙවෙනි, එහෙමත් නැත්නම් ඔහුටත් වඩා ඉදිරියෙන් සිටීමට ඉඩ තිබූ, එහෙත් අද බොහෝ දෙනෙකුට අමතක වී ගිය පුරෝගාමියෙකු සිටි බව ඔබ දන්නවද?. ඔහුගේ නම Gary Kildall.

ඔහු වර්තමාන තාක්ෂණික ලෝකයට අඩිතාලම දැමූ "unsung hero" කෙනෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඔහුගේ ඒ දැවැන්ත දායකත්වය සහ පරිගණක ඉතිහාසයේ ලියැවුණු කණගාටුදායකම කතාන්තර වලින් එකක් බවට ඔහුගේ ඉරණම පත් වූ ආකාරයයි.

කතාව ආරම්භය අපිට දශක කිහිපයක් ආපස්සට යන්න සිදු වෙනවා. 1970 දශකයේ අගභාගය වනතෙක්, personal computers කියන්නේ බොහෝ දුරට තාක්ෂණික විනෝදාංශයක් පමණයි. නමුත් 1977 දී Apple සමාගම සිය Apple II පරිගණකය එළිදැක්වීමත් සමග ඒ සියල්ල වෙනස් වුණ.

Steve Wozniak සහ Steve Jobs ගේ නිර්මාණශීලීත්වයෙන් බිහි වූ Apple II, පරිගණකය - By Rama & Musée Bolo - Own work, CC BY-SA 2.0 fr, https://commons.wikimedia.org/w/index.php?curid=36639527

Steve Wozniak සහ Steve Jobs ගේ නිර්මාණශීලීත්වයෙන් බිහි වූ Apple II, පරිගණක power, versatility සහ user-friendliness යන සියල්ල එකට ඇති අපූරු උපාංගයක් වුණා. එය PC යන්න හුදෙක් විනෝදාංශයක සීමාවෙන් මුදාගෙන, mainstream සමාජය වෙත ගෙන ආවා.

මෙම සාර්ථකත්වය, එකල සිටි අනෙකුත් තාක්ෂණික දැවැන්තයින් අතර ඉතාම දැඩි තරඟයක්ඇති කළා. ඒ අතරින් එක් දැවැන්තයෙක් තමයි IBM.

IBM සමාගමේ උපායමාර්ගික සැලසුම

Apple II හි සාර්ථකත්වය දුටු IBM සමාගම, විශේෂයෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා ඉලක්ක කරගත් personal computer එකක් සඳහා වෙළඳපොලේ විශාල ඉල්ලුමක් ඇති බව තේරුම් ගත්තා.

නමුත් IBM මේ අවශ්‍යතාවය සපුරන්න තරමක් වෙනස් උපායක් භාවිතා කළා,  ඒ තමන්ගේම සියලුම proprietary components මුල සිට නිර්මාණය කරනවා වෙනුවට, ඔවුන් off-the-shelf components, එනම් විවිධ නිෂ්පාදකයින් විසින් දැනටමත් නිපදවා තිබූ, වෙළඳපොලෙන් පහසුවෙන් ලබාගත හැකි සූදානම් කොටස් භාවිතා කිරීමට තීරණය කිරීමයි.

මෙය ඔවුන්ට වගේම තාක්ෂණික ලෝකයේම වැදගත් තීරණයක් බවට පත් වුණා. එමගින් ඔවුන්ට development costs අඩු කර ගැනීමටත්, තම පරිගණකය වෙළඳපොළට නිකුත් කිරීමේ timeline විශාල ලෙස ඉක්මන් කර ගැනීමටත් හැකි වුණා. IBM PC එක නිර්මාණය වුණේ මේ විදිහටයි. නමුත් එයට එක අත්‍යවශ්‍ය දෙයක් අඩු වුණා: ඒ තමයි Operating System (OS) එකක්, එහෙම නැතිනම් මෙහෙයුම් පද්ධතියක්. 

CP/M හි නිර්මාතෘ Gary Kildall

Gary Kildall & Dorothy Kildall
Gary Kildall සහ Dorothy Kildall - computerhistory.org

OS එකක් සොයමින් සිටි IBM සමාගමේ අවධානය මුලින්ම යොමු වුණේ Gary Kildall වෙතයි. Kildall යනු එකල microcomputers සඳහා තිබූ වඩාත්ම ජනප්‍රිය සහ බලවත් operating system එක වූ CP/M හි නිර්මාතෘවරයායි. IBM සමාගමේ නව PC ව්‍යාපෘතිය සඳහා Kildall ගේ දායකත්වය ලබා ගැනීම ඔවුන්ගේ මූලික සැලසුම වුණා.

IBM නියෝජිතයින් කණ්ඩායමක් Gary Kildall සමග සාකච්ඡා කිරීමට ඔහුගේ සමාගම වන Digital Research කාර්යාලයට ගියා.

නමුත් අවාසනාවකට, එම මොහොතේ Gary Kildall එහි සිටියේ නැහැ. IBM නියෝජිතයින්ට හමුවූයේ Kildall ගේ බිරිඳ වූ Dorothy Kildall. සාකච්ඡා ආරම්භ කිරීමට පෙර, IBM නියෝජිතයින් තමන්ගේ ව්‍යාපාරික රහස් ආරක්ෂා කර ගැනීම සඳහා සම්මත non-disclosure agreement - NDA ඉදිරිපත් කර, එය අත්සන් කරන ලෙස Dorothy ගෙන් ඉල්ලා සිටියා.

නමුත් Dorothy Kildall එම NDA ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා.

එම තීරණාත්මක මොහොතේදී, පරිගණක ඉතිහාසය වෙනස් කිරීමට තිබූ දැවැන්තම ගනුදෙනුවක් සඳහා වූ දොරටුව එතැනින්ම වැසී ගියා. එය Kildall ගේ ජීවිතයේ The missed opportunity එක බවට පත් වුණා.

Microsoft සමාගමේ සම්ප්‍රාප්තිය

Microsoft හි නිර්මාතෘ වරු Bill Gates (ව ) and Paul Allen Doug Wilson/Corbis/Getty Images

IBM ඊළඟට හැරුණේ එකල තවමත් කුඩා සමාගමක් වූ Microsoft හි තරුණ Bill Gates වෙතටයි. IBM වැනි දැවැන්තයෙකු සමඟ ගනුදෙනු කිරීමේ ඇති වටිනාකම Gates හොඳින්ම තේරුම් ගත්තා.

ඒ වන විට Microsoft සමාගමට ද තමන්ගේම OS එකක් තිබුණේ නැහැ. Gates කළේ ඉතා උපායශීලී දෙයක්. ඔහු Seattle Computer Products නම් සමාගමකින්, Tim Paterson නම් ක්‍රමලේඛකයා විසින් නිර්මාණය කර තිබූ QDOS (Quick and Dirty Operating System) නම් OS එකක් ඉක්මනින් මිලදී ගත්තා.

මෙහි ඇති පුදුම සහගතම (සහ මතභේදාත්මකම) කරුණ නම්, මෙම QDOS, Gary Kildall ගේ CP/M එකට දැඩි සමානකම් දැක්වීමයි.

Microsoft විසින් QDOS මිලදී ගෙන, එය වැඩි දියුණු කර, MS-DOS (Microsoft Disk Operating System) ලෙස rebrand කර, IBM PC එක සඳහා license ලබා දුන්නා.

CP/M හි බිඳවැටීම සහ MS-DOS හි ආධිපත්‍යය

CP/M-86 boot-up on the original IBM PC, Preliminary Release 2.2.5
CP/M-86 boot-up වීම original IBM පරිගණකයේ, (Preliminary Release 2.2.5) - digibarn.com

1981 නොවැම්බර් 5 වෙනිදා IBM PC පරිගණකය වෙළඳපොළට නිකුත් වූ අතර, එය අතිශය සාර්ථකත්වයක් ලැබුවා. ඒ සමගම, MS-DOS ලෝකයේ PC සඳහා වූ industry standard බවට පත් වුණා.

Gary Kildall ගේ CP/M සම්පූර්ණයෙන්ම අමතක වී යන්නට හා MS-DOS හි මෙම ආධිපත්‍යයට ප්‍රධාන හේතු දෙකක් බලපෑවා:

  1. මිල පරතරය : MS-DOS එකක් අලෙවි වූයේ $40 ක මිලකටයි. නමුත් CP/M එකක් අලෙවි වූයේ $240 ක අධික මිලකටයි. මෙම දැවැන්ත මිල පරතරය නිසා පාරිභෝගිකයින් MS-DOS වෙත වඩාත් ආකර්ෂණය වුණා.
  2. Ecosystem: මිලට අමතරව, MS-DOS ජනප්‍රිය වීමත් සමග, software developers ලා විශාල වශයෙන් MS-DOS සඳහාම ගැළපෙන applications නිපදවීමට පටන් ගත්තා. මේ නිසා CP/M භාවිතා කරන්නන්ට තෝරාගැනීමට තිබූ මෘදුකාංග ප්‍රමාණය (lack of compatibility) සීමා වුණා. ඔවුන්ටත් අවසානයේ MS-DOS වෙත මාරු වෙන්නට සිදු වුණා. 

Kildall ගේ අවසනාවන්ත ඉරණම 

Commemorative plaque honoring Gary Kildall
Gary Kildall ට උපහාර දක්වන සමරු ඵලකය - lighthouseavenue.com

තමන්ට මගහැරුණු දැවැන්ත අවස්ථාව Kildall පසුව තේරුම් ගත්තා. MS-DOS යනු තම CP/M හි බුද්ධිමය දේපල (intellectual property) උල්ලංඝනය කිරීමක් බව පවසමින් ඔහු IBM සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කළා.

කෙසේ වෙතත්, මෙම ගැටළුව දීර්ඝ නඩු විභාගයකට ගියේ නම් නැහැ. දෙපාර්ශවය undisclosed settlement එකක් වෙත පැමිණි අතර, Kildall හට IBM වෙතින් විශාල මූල්‍ය වන්දියක් ලැබෙන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.

මෙම සිදුවීමෙන් පසුවත් Kildall නවෝත්පාදන නතර කළේ නම් නැහැ. ඔහු MS-DOS සඳහා විකල්පයක් ලෙස DR DOS නිර්මාණය කළා. එපමණක් නොව, ඔහු networking සහ graphical user interfaces වැනි ක්ෂේත්‍රවල දියුණුවට ද දායකත්වය ලබා දුන්නා.

නමුත් 1980 දී සිදු වූ ඒ මගහැරීම සහ ව්‍යාපාරික කඩාවැටීම, Kildall ගේ පෞද්ගලික ජීවිතයට දැඩිව බලපෑවා. ඔහු දැඩි depression සහ මත්පැන් වලට ඇබ්බැහි වීමෙන් පීඩා වින්දා. තාක්ෂණ ලෝකයට දැවැන්ත දායකත්වයක් සැපයූ Gary Kildall, 1994 දී අවාසනාවන්ත ලෙස මිය ගියා.

අමතක කර දැමූ උරුමය

Gary Kildall's role in shaping the course of technological history often goes unnoticed
අමතක කර දැමුණු Kildall අවාසනාවන්ත ඉරණම - hipertextual.com

අද වන විට, Kildall ගේ උරුමය බොහෝ දුරට අමතක වී ගොස් තිබෙන්නේ ඇයි?.Bill Gates සහ Microsoft සමාගමේ ආධිපත්‍යය ඊට ප්‍රධාන හේතුවක්. Gary Kildall විශිෂ්ට නවෝත්පාදකයෙකු වුවත්, ඔහුට Gates සතුව තිබූ ප්‍රසිද්ධිය සහ අලෙවිකරණ දක්ෂතාවය තිබුනේ නැහැ . මේ නිසා, පරිගණක ඉතිහාසයේ කතාව ලියැවුණේ ජයග්‍රාහකයා වූ MS-DOS වටා වන අතර, Kildall සහ CP/M අඳුරේම සැඟවී ගියා.

නවීන තාක්ෂණය දියුණු වෙද්දී, Kildall වැනි පැරණි පුරෝගාමීන් අමතක කර දැමී අඑතරම් හොඳ දෙයක් නෙමෙයි. අප අද භුක්ති විඳින ඩිජිටල් ලෝකයේ අඩිතාලම දැමූ ඔහුගේ දායකත්වය අප සිහිපත් කිරීම වැදගත්. Kildall ගේ කතාවෙන් අපට යම් පාඩමක් ඉගෙන ගත හැකි නම්, ඒ "ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමේ වැදගත්කම" යි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා curiocial.com වෙබ් අඩවිය සහ pbs.orgවෙබ් අඩවිය භාවිතා කළ හැක.