පල පුරුද්ද සහ තීරණ ගැනීමේ හැකියාව දෙකම තියෙන රියදුරන්ට තරඟ ජය ගන්න වැඩි අවස්ථාවක් උදාවෙන යුගයක්.
ෆෝමියුලා 1 (F1) ඉතිහාසය ගැන පොඩ්ඩක් ආපහු හැරිලා බැලුවොත්, මුළු ක්‍රීඩාවම උඩු යටිකුරු කරපු අවස්ථා තියෙන්නේ බොහොම ටිකයි. 2014 දී කන් දෙදරවන V8 එන්ජින් අයින් කරලා Hybrid එන්ජින් ගෙනාපු එක, එහෙමත් නැත්නම් 2022 දී කාර්වල Aerodynamics සම්පූර්ණයෙන්ම වෙනස් කරපු එක අපිට මතකයි. අන්න ඒ වගේම, එහෙමත් නැත්නම් ඊටත් වඩා ලොකු පෙරළියක් 2026 දී සිද්ධ වෙන්න නියමිතයි.
මේ පාර F1 පාලක මණ්ඩලය (FIA) ගේ ප්‍රධානම ඉලක්කය වෙලා තියෙන්නේ "Nimble Car" සංකල්පයයි. සරලවම කිව්වොත්, දැන් අපි දකින දිගින් සහ බරින් වැඩි, නැවක් වගේ තියෙන කාර් වෙනුවට, පටු පාරවල්වල වුනත් ලේසියෙන් හරවන්න පුළුවන්, සැහැල්ලු සහ වේගවත් (Agile) කාර් නිර්මාණය කිරීම තමයි ඔවුන්ගේ අරමුණ.
ඇයි මේ හදිසි වෙනසක්?

මේකට කෙටිම උත්තරේ තමයි, "ලෝකය වෙනස් වෙන නිසා". අද වෙද්දී ලෝකයේ සාමාන්‍ය වාහන නිෂ්පාදනය වේගයෙන් විදුලි වාහන (EV) පැත්තට හැරෙනවා. ඉතින් තාමත් පෙට්‍රල් පුච්චන F1 කාර්, අනාගතයට ගැලපෙන්නේ නෑ වගේ හැඟීමක් එන්න පුළුවන්. ඒ නිසා 2030 වෙද්දී "Net Zero" නැත්නම් කාබන් පිටවීම ශුන්‍ය කිරීමේ ඉලක්කයට යන්න F1 වලට සිද්ධ වෙලා තියෙනවා.
අනිත් කාරණය තමයි Audi සහ Ford වගේ ලෝකයේ දැවැන්ත සමාගම් F1 වලට ගෙන්න ගන්න නම්, පාරේ යන වාහනවලට ගැලපෙන තාක්ෂණයක් (Road relevant technology) මේ කාර්වල තියෙන්න ඕන. ඒ වගේම රේස් එක බලන අපිටත් එකිනෙකා පහු කරගෙන යන උද්වේගකර තරඟයක් දෙන්න නම්, කාර්වල ප්‍රමාණය පොඩි වෙන්නම ඕන.
එන්ජිමේ සිදුවන වෙනස්කම්

බැලූ බැල්මට 2026 එන්ජිම තාමත් පරණ 1.6-litre V6 Turbo Hybrid එන්ජිම වගේම පෙනුනට, ඇතුළාන්තය සම්පූර්ණයෙන්ම වෙනස්.
මෙච්චර කාලයක් F1 කාර් දිව්වේ 80%ක් පෙට්‍රල් එන්ජිමේ (ICE) බලයෙන්. විදුලියෙන් ලැබුණේ 20%ක සහායක් විතරයි. හැබැයි 2026 දී මේක 50/50 වෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් එන්ජිමේ බලය අඩු කරලා (අශ්වබල 535 දක්වා), විදුලි මෝටරයේ (MGU-K) බලය තුන් ගුණයකින් වැඩි කරනවා. මේ අලුත් විදුලි මෝටරය අශ්වබල 470ක් (350kW) නිපදවනවා. ඒක හරියට දැනට පාරේ යන වේගවත්ම Electric Sports Car එකක බලයට සමානයි.
විශේෂම දේ තමයි, ඉස්සර වගේ බ්‍රේක් කරද්දී විතරක් නෙමෙයි, කෙලින් පාරේ යද්දී ඇක්සලේටරයෙන් කකුල ගත්ත ගමන් බැටරිය චාජ් කරගන්න මේ අලුත් සිස්ටම් එකට පුළුවන්.
MGU-H ඉවත් කිරීම සහ Turbo Lag ගැටලුව


වියදම අඩු කරන්න සහ තාක්ෂණය සරල කරන්න හිතාගෙන, එන්ජිමේ තිබුණු සංකීර්ණම කෑල්ලක් වෙන MGU-H (තාපයෙන් විදුලිය හදන කොටස) අයින් කරන්න තීරණය කරලා තියෙනවා. මේක Audi වගේ අලුත් අයට ලොකු වාසියක්. හැබැයි මේ නිසා පරණ කාර්වල තිබුණු "Turbo Lag" ලෙඩේ ආයේ එන්න පුළුවන්. (රියදුරා රේස් එක දෙන වෙලාවයි, ටර්බෝ එක වැඩ කරන වෙලාවයි අතර පොඩි පරතරයක් ඒම).
මේකට විසඳුම විදිහට ඉංජිනේරුවන් කරන්නේ, අර ලොකු විදුලි මෝටරය පාවිච්චි කරන එකයි. ටර්බෝ එක පණ ගැන්වෙන තත්පර ගාන ඇතුළත, විදුලි මෝටරයෙන් ක්ෂණික බලයක් (Torque fill) දීලා කාර් එක වේගයෙන් ඉස්සරහට තල්ලු කරනවා.
Clipping කියන්නේ මොකක්ද?
රියදුරන්ට තියෙන ලොකුම අභියෝගය තමයි මේක. හිතන්න, අධිවේගී මාර්ගයක උපරිම වේගයෙන් යද්දී එකපාරටම බැටරිය බැස්සොත් මොකද වෙන්නේ? අශ්වබල 470ක විදුලි බලය නැති වෙලා, පෙට්‍රල් එන්ජිමේ බලය විතරක් ඉතුරු වෙනවා. මේකට තමයි "Clipping" කියන්නේ. පැයට කිලෝමීටර 300ට එහා යද්දී හුළං ප්‍රතිරෝධය (Drag) වැඩි නිසා, මේ බලය අඩුවීම රියදුරාට තදින්ම දැනෙනවා.
Transformers වගේ වෙනස් වන කාර්
2026 කාර් එක හරියට "Transformers" චිත්‍රපටයේ වාහනයක් වගේ ගතිකව හැඩය වෙනස් කරගන්නවා. මේකට කියන්නේ "Active Aerodynamics" කියලා.
- Z-Mode: වංගුවක් ළඟට එනකොට කාර් එකේ පියාපත් (Wings) වැහිලා, කාර් එක පොළොවට තද කරනවා (High Downforce).
- X-Mode: කෙලින් පාරට (Straight) ආපු ගමන් පියාපත් ඇරිලා, හුළං කපාගෙන වේගයෙන් යන්න ඉඩ දෙනවා (Low Drag).
මේ තාක්ෂණය නිසා ඉන්ධන ඉතිරි කරගන්නත් ලොකු උදව්වක් ලැබෙනවා. කාර් එකේ ප්‍රමාණයත් සැලකිය යුතු විදිහට අඩු වෙලා. දිග 20cm කින් සහ පළල 10cm කින් අඩු වෙලා, බරත් 768kg දක්වා අඩු කරලා තියෙනවා.
DRS වෙනුවට එන "Overtake Mode"
අපි මෙච්චර කාලයක් දැක්ක DRS ක්‍රමය 2026 දී ඉවරයි. දැන් එන්නේ Manual Boost නැත්නම් Overtake Mode එක.
ඉස්සර වගේ ඉස්සරහ කාර් එකට තත්පරයක් ළඟින් හිටියම විතරක් නෙමෙයි, ඕනම කෙනෙක්ට කෙලින් පාරවල්වලදී වින්ග්ස් අරින්න පුළුවන්. හැබැයි තරඟය තියෙන්නේ මෙතනයි:
ඔබ ප්‍රතිවාදියාට ගොඩක් ළඟින් (තත්පර 1ට අඩුවෙන්) ඉන්නවා නම්, ඔබට අමතර විදුලි බලයක් (Extra Electrical Energy) ලැබෙනවා. මේක පාවිච්චි කරලා ඉස්සරහ වාහනේට පහර දෙන්න (Attack) පුළුවන්.
ඒ වගේම තමන්ව පහු කරන්න එන කෙනෙක්ගෙන් බේරෙන්න (Defend), තමන්ගේ බැටරියේ චාජ් එක තියෙනවා නම් මේ Boost එක පාවිච්චි කරන්නත් පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම රියදුරාගේ මොළේ සහ උපාය මාර්ග (Strategy) මත තීරණය වෙන දෙයක්.
04. ආරක්ෂාව

කාර් වේගවත් වෙනකොට ආරක්ෂාවත් වැඩි වෙන්න ඕනනේ. එනිසා මෙන්න මේ ක්‍රියාමාර්ග ඒ වෙනුවෙන් අරගෙන තියෙනවා.
- Roll Hoop: රියදුරාගේ හිසට උඩින් තියෙන ආරක්ෂිත රාමුව දැන් 23%කින් ශක්තිමත්. සාමාන්‍ය කාර් 9ක බරක් උනත් මේකට දරාගන්න පුළුවන්.
- Safety Structure: අනතුරකදී කාර් එකේ ඉස්සරහ නාසය (Nose) කොටස් දෙකකට කැඩෙන විදිහට හදලා තියෙනවා. එක පාරක් හැප්පුනත්, තව ආරක්ෂිත කොටසක් ඉතුරු වෙනවා.
- Weather Conditions: වැස්ස දවස්වලට රේස් පදිනකොට රියදුරන්ට තියෙන ලොකුම හිසරදය තමයි ඉස්සරහ කාර් එකෙන් විසිවෙන වතුර පාර හෙවත් Spray එක. මේ නිසා පස්සේ එන අයට පාර හරියට පේන්නේ නැති වෙනවා.
මේකට විසඳුමක් විදිහට, Safety Car එක පිටුපසින් යනකොට කාර් අතර තියන්න ඕන පරතරය වෙනස් කරන්න දැන් Race Director ට අවසර දීලා තියෙනවා. ඉස්සර කාර් 10ක පරතරයක් තිබුනා නම්, දැන් ඒක කාර් 20ක් දක්වා ඈත් කරන්න පුළුවන්. වාහන ඈත් වෙනකොට අර වතුර පාර (Spray) වැදෙන එක අඩු වෙන නිසා, රියදුරන්ගේ පෙනීම (Visibility) වැඩි කරලා අනතුරු අඩු කරගන්න මේක ලොකු උදව්වක් වේවි.

ටයර්
තාමත් පාවිච්චි වෙන්නේ අඟල් 18 ටයර් වුනාට, 2026 දී ඒවායේ පළල අඩුයි. මේ නිසා පාරේ වදින ඉඩ (Contact patch) අඩු වෙලා, කාර් එකේ Grip එක අඩු වෙනවා. අති විශාල විදුලි බලයක් (Torque) එක්ක අඩු Grip එකක් කියන්නේ, වාහනය පාලනය කරන එක රියදුරන්ට ලොකු අභියෝගයක් වෙනවා කියන එකයි.
උණුසුම් තරඟාවලියක්
මේ අලුත් නීතිත් එක්ක F1 පිටියත් වෙනස් වෙනවා. අලුත් නීති නිසා Audi වගේ අයට මුල ඉඳන්ම අනිත් අයට අභියෝග කරන්න හොඳ අවස්ථාවක් (Level playing field) ලැබෙනවා.
Red Bull + Ford: Red Bull කණ්ඩායම Honda අතහැරලා Ford එක්ක එකතු වෙලා තමන්ගේම එන්ජිමක් හදන්න ලොකු සූදුවක් කරනවා. මේක වැරදුනොත් ඔවුන්ගේ ආධිපත්‍යය ඉවර වෙන්නත් පුළුවන්.
Aston Martin + Honda: Honda සතු ඉන්ධන දහන තාක්ෂණය (Combustion efficiency) එක්ක එකතු වෙන Aston Martin ලට, මේක ලෝක ශූරතාවයක් දිනන්න ලැබෙන රන් අවස්ථාවක් වෙන්න පුළුවන්.
2026 ඉඳන්, නිකම්ම හොඳම කාර් එක හෝ වැඩිම පල පුරුද්ද තියෙන කෙනා දිනනවා වෙනුවට, පල පුරුද්ද සහ තීරණ ගැනීමේ හැකියාව දෙකම තියෙන රියදුරන්ට තරඟ ජය ගන්න වැඩි අවස්ථාවක් උදාවෙන යුගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
