දශක ගණනකට පෙර දුරකතනයක සිහිනය දුටු, එහෙත් දරිද්‍රතාවය සහ අවාසනාව විසින් පරාජය කරනු ලැබූ, ඉතිහාසයේ අමතක කළ නොහැකි චරිතයක්.


තාක්ෂණික ඉතිහාසය දෙස බලන විට, ලෝකය කුඩා ගම්මානයක් බවට පත් කළ ප්‍රධානතම නිර්මාණයක් ලෙස ටෙලිෆෝනය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නම ඇසූ සැණින්, අප කාගේත් මතකයට එන එකම නමක් තියෙනවා ඒ, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්. ඔහු 1876 දී එම නිර්මාණය සඳහා නීත්‍යානුකූල පේටන්ට් බලපත්‍රය (U.S. Patent No. 174,465) ලබා ගනිමින්, ඉතිහාසයේ රන් අකුරින් දුරකතනයේ නිර්මාතෘ විදිහට තම නම ලියා ගත්තා.

නමුත්, එම කතාවේම, දරිද්‍රතාවය, අවාසනාව සහ බලවත් සමාගම් විසින් යටපත් කරන ලද, අප බොහෝ දෙනෙක් නොදන්නා තවත් පරිච්ඡේදයක් තියෙනවා. ඒ, Antonio Santi Giuseppe Meucci නම් ඉතාලි ජාතික සංක්‍රමණිකයාගේ කතාවයි.

ඇන්ටෝනියෝ මියුචි

Antonio Santi Giuseppe Meucci
දරිද්‍රතාවය, අවාසනාව විසින් යටපත් කරන ලද Antonio Santi Guseppe Meucci Getty Images

ඇන්ටෝනියෝ මියුචි යනු 19 වන සියවසේ ඉතාලියේ සිට ඇමරිකාවට පැමිණි දක්ෂ, එහෙත් ඉතා දිළිඳු පුද්ගලයෙකි. සිය නව නිර්මාණ පිළිබඳ සිහින දකින්නට පෙර, ඔහු ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ Teatro della Pergola නම් ප්‍රසිද්ධ රඟහලේ stage technician ලෙස සේවය කළා.

වඩා හොඳ ජීවිතයක් සොයා, ඔහු 1835 දී තම බිරිඳ Esterre Mochi සමඟ කියුබාවේ හවානා නුවරට සංක්‍රමණය වුණා.

ඔහුගේ ජීවිතය වෙනස් කළ සිදුවීම වාර්තා වන්නේ එතැනදීයි. මියුචි, rheumatism රෝගීන්ට ප්‍රතිකාර කළ ජර්මානු වෛද්‍යවරයෙකු වූ Franz Anton Mesmer සමඟ එක්ව සේවය කළා. මෙම ප්‍රතිකාරවලදී රෝගීන්ට electric shocks ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදයක් වුණා.

එක් දිනක්, මෙසේ ප්‍රතිකාර කරමින් සිටියදී, මියුචි පුදුම සහගත දෙයක් නිරීක්ෂණය කළා: විදුලි කම්බිය හරහා, අනෙක් පස සිටි රෝගියාගේ කටහඬ තමන්ට ඇසුණු බව ඔහු තේරුම් ගත්තා. විදුලියට ශබ්දය රැගෙන යා හැකි බව ඔහු එදින වටහා ගත්තා. මෙම සොයාගැනීම ඔහුගේ පසුකාලීන නිර්මාණ සඳහා අඩිතාලම දැමුවා.

මෙම සොයාගැනීම සමඟ, මියුචි පසුව ඇමරිකාවේ Staten Island හි පදිංචි වී, 1856 සිට 1870 දක්වා, වසර 14 කට ආසන්න කාලයක්, සිය මුළු ජීවිතයම මෙම නව නිර්මාණය වෙනුවෙන් කැප කළා. ඔහු එයට Telettrofono ලෙස නම් තැබුවා. ඔහු මෙම තාක්ෂණය අත්හදා බලමින්, උපාංග වර්ග 30 කට වඩා නිර්මාණය කළ බවත්, ඒ අතර කිමිදුම්කරුවන්ට දිය යට සිට කතා කළ හැකි 'marine telephone' පවා තිබූ බවත් සමහර වාර්තාවල සඳහන් වෙනවා.

දරිද්‍රතාවයෙන්  බැට කැ මියුචි

Destiny had a different plan for Meucci
ඉතිහාසයෙන් අතුරුදහන් වූ ඇන්ටෝනියෝ මියුචිගේ කතාව - lavanguardia.com

නමුත් මියුචිගේ දක්ෂතාවයට දෛවය සහ දරිද්‍රතාවය විසින් දිගින් දිගටම පහර දෙනු ලැබුවා. ඊට අමතරව ඔහුට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුණා. බොහෝ දෙනෙක් ඔහුගේ මෙම "කතා කරන යන්ත්‍රය" පිළිබඳ අදහස විහිළුවක් ලෙස සලකා බැහැර කළා.

1871 දී Staten Island හි Westfield නම් වාෂ්ප නැවක සිදු වූ පිපිරීමකින් මියුචි දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා, මාස ගණනක් රෝහල් ගත වුණා. මෙම අනතුර ඔහුව ශාරීරිකව පමණක් නොව, මූල්‍යමය වශයෙන් ද සම්පූර්ණයෙන්ම බිඳ දැමුවා.

ඔහු රෝහලේ සිටියදී, නිවසේ වියදම් පියවා ගැනීමට නොහැකි වූ ඔහුගේ බිරිඳ, මියුචිගේ වැඩබිමේ තිබූ ඔහුගේ original models සහ prototypes තොගයක්, ඩොලර් 6 ක් වැනි සොච්චම් මුදලකට පරණ බඩු කඩයකට විකුණා දැමුවා.

පේටන්ට් අරගලය සහ "අස්ථානගත වූ" සාක්ෂි

Meucci's observation in Havana
කියුබාවේ හවානා නුවරදී නිරීක්ෂණය - lavanguardia.com

මෙතරම් බාධක මැද වුවත්, මියුචි සිය උත්සාහය අත්හැරියේ නම් නැහැ. 1871 දෙසැම්බර් 28 දා, ඔහු තම Sound Telegraph නිර්මාණය සඳහා caveat එකක් එසේ නැති නම් තාවකාලික පේටන්ට් නිවේදනයක් ගොනු කළා.

මෙය සම්පූර්ණ 'patent' බලපත්‍රයක් නොවෙයි. එය, "මම මෙවැනි නිර්මාණයක් කරමින් සිටිනවා, ඒ නිසා වසරක් යනතුරු මගේ අදහස සුරකින්න" යැයි පේටන්ට් කාර්යාලයට දන්වන තාවකාලික දැන්වීමක් පමණයි. 

මියුචිට සම්පූර්ණ පේටන්ට් බලපත්‍රයක් සඳහා අවශ්‍ය ඩොලර් 250 ක මුදල සොයා ගැනීමට නොහැකි වුණා. අවසානයේ, 1874 න් පසු එම 'caveat' පත්‍රය අලුත් කර ගැනීමට අවශ්‍ය ඩොලර් 10 පවා ඔහු සතුව තිබුණේ නැහැ.

ඔහුගේ කතාවේ වඩාත්ම මතභේදාත්මක සහ අඳුරුම පරිච්ඡේදය ලියවෙන්නේ ඉන් පසුවයි.

සිය නිර්මාණයට අනුග්‍රහයක් ලබා ගැනීමේ අරමුණින්, මියුචි එවකට දැවැන්තම සමාගමක් වූ 'American District Telegraph' (ADT) (පසුව 'Western Union' හා සම්බන්ධ වූ) වෙත සිය prototypes සහ තාක්ෂණික විස්තර ලබා දුන් බවට වාර්තා වෙනවා.

වසර දෙකකට පසු, 1874 දී, මියුචි තම නිර්මාණ ආපසු ඉල්ලූ විට, සමාගම ඔහුට දැනුම් දුන්නේ ඒවා අස්ථානගත වී ඇති බවයි.

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ද එම 'Western Union' සමාගම හා සම්බන්ධ පර්යේෂණාගාරවල කටයුතු කළ බවට වාර්තා වීම නිසා මියුචිගේ අස්ථානගත වූ නිර්මාණ, බෙල් අතට පත් වූ බවට ප්‍රබල චෝදනා නැගුණ ද, එය තීරණාත්මක ලෙස ඔප්පු කිරීමට කිසිදු පැහැදිලි ලේඛනගත සාක්ෂියක් හමු වී නැහැ. එය අදටත් ඉතිහාසයේ නොවිසඳුණු අබිරහසක්ව පවතිනවා. 

1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, ටෙලිෆෝනය සඳහා ඔහුගේ පේටන්ට් බලපත්‍රය (U.S. Patent No. 174,465) සාර්ථකව ගොනු කළා.

ප්‍රමාද ව ලැබූ පිළිගැනීම හා ඉතිහාසය නිවැරදි කිරීම

බෙල්ගේ පේටන්ට් බලපත්‍රය නීත්‍යානුකූලව ශක්තිමත් වුණ නිසාම පසුකාලීනව පැවති සියලුම අධිකරණ ක්‍රියාමාර්ගවලින් (Supreme Court දක්වා) බෙල්ගේ පේටන්ට් බලපත්‍රය වලංගු බවට තීන්දු වුණා. මියුචිගේ නඩුව දුර්වල වීමට ප්‍රධාන හේතුව වූයේ, ඔහුගේ මුල්ම models අහිමි වී තිබීම සහ ඔහුගේ caveat පත්‍රය කල් ඉකුත් වී තිබීමයි.

ඇන්ටෝනියෝ මියුචි 1889 දී මිය ගියේ, දුප්පත්, පරාජිත මිනිසෙකු ලෙසයි. ඔහු මිය යන තුරුම, ටෙලිෆෝනයේ පළමු නිර්මාතෘ තමන් බවට වූ විශ්වාසයේ තරයේ සිටි බව සඳහන් වෙනවා.

මියුචි මිය ගොස් වසර 113 කට පසුව, 2002 ජූනි 11 වන දා, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (U.S. House of Representatives) 'H.Res.269' නම් ඓතිහාසික යෝජනාවක් සම්මත කළා.

H.Res.269 - Expressing the sense of the House of Representatives to honor the life and achievements of 19th Century Italian-American inventor Antonio Meucci, and his work in the invention of the telephone.

එය ටෙලිෆෝනය නිර්මාණය කිරීමේදී ඇන්ටෝනියෝ මියුචිගේ ජීවිතය සහ ඔහුගේ පුරෝගාමී දායකත්වය නිල වශයෙන් කෘතඥපුර්වකව පිළිගත යුතු බව ප්‍රකාශ කරන ප්‍රබල දේශපාලනික සහ ඓතිහාසික පිළිගැනීමක් වුණා.

මියුචිව අමරණීය කරන්න Telettrofono" නමින් project එකක් පවා පටන් අරන් තියෙනවා. ඒක audio piece එකක් (ශ්‍රව්‍ය නිර්මාණයක්). ඒකෙන් මියුචි ජීවත් වුණු Staten Island එකේ සැබෑ පරිසර ශබ්ද සහ ඔහුගේ නිර්මාණවල ශබ්ද එකතු කරලා ඔහුගේ කතාව ලෝකයට කියන්න උත්සාහ කරනවා.

audio-thumbnail
TELETTROFONO
0:00
/3905.201625

අදටත්, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝනයේ නීත්‍යානුකූල සහ වාණිජමය නිමැවුම්කරු ලෙස ඉතිහාසයේ වැජඹෙනවා. නමුත් ඇන්ටෝනියෝ මියුචි යනු, දශක ගණනකට පෙර එම සිහිනය දුටු, එහෙත් දරිද්‍රතාවය සහ අවාසනාව විසින් පරාජය කරනු ලැබූ, ඉතිහාසයේ අමතක කළ නොහැකි චරිතයක්. ඔහුගේ කතාව, දක්ෂතාවය පමණක් ලෝකය ජය ගැනීමට ප්‍රමාණවත් නොවන බවට කදිම උදාහරණයක්.